පෙරටුගාමීනට ගම්පහදී ගහලා


ගම්පහ මහ නගර සභා භූමියේ රැස්විම් ශාලාවේ තම රැස්වීමට පැමිණි ගම්පහ නගරාධිපති, උප නගරාධිපති ඇතුළු මන්ත්‍රී පිරිසක් එහි පැමිණි පිරිසකට පහර දුන් බව පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.

අප්‍රේල් විරු සමරු උත්සවයක් පැවැත්වීම සඳහා නගර සභා ශ්‍රවණාගාරය මුදල් ගෙවා වෙන් කර ගත් බවත් ඔහු කියයි.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක පැවසුවේ සතියේ දිනයක් වූ නිසා නගර සභා පුස්තකාලයේ පාඩම් කරමින් සිටි සිසුන්ට බාධාවන නිසා ඒ පිළිබඳ විමසීමට එහි ගිය බවයි.

රැස්වීමක් මුවාවෙන් විරුදින උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබුණු බවත්, එහි සංගීත භාණ්ඩ ඇතුළු ඝෝෂාකාරී දේ තිබූ නිසා පුස්තකාල කටයුතුවලට හා නගර සභා මහා සභා රැස්වීමට බාධා වන අයුරින් එය නොපවත්වන ලෙස ඉල්ලා සිටි බවත්, එහි සිටි පිරිස නගර සභා නිලධාරියකුට පහර දුන් බවත් නගරාධිපති කීය.