පූජනීය ධාතු කොටස් වෙන්දේසියකට සැරසේ


(විමුක්ති එස් රුද්‍රිගු)

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් හොංකොං ඩොලර් මිලියන 100 ක පමණ (ශ්‍රී ලංකා රුපියල් කෝටි 386 ක් පමණ) මුදලකට එළැඹෙන 7 වැනිදා වෙන්දේසි කිරීමට නියමිතය.

බෞද්ධ ධාතු ලෙස පිළිගැනෙන මැණික් ගල්, ක්‍රිස්ටල්, රත්තරන්,මුතු වලින් සමන්විත මෙම පුරාණ එකතුව 1898 වසරේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිප්‍රහ්වා ගම්මානයේ බුදුරජාණන් වහන්සේගේ  ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා ශාක්‍යය වංශිකයන් ඉදිකළ ස්තූපයකින් සොයා ගෙන ඇත.

මෙම පුරාණ එකතුව කිසිවකට සමානකළ නොහැකි ආගමික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් ඇති එකතුවක් ලෙස විස්තර කරමින් සදබි වෙන්දේසි සමාගම සිය වෙන්දේසි ලැයිස්තුවට එක් කර තිබේ.

කෙසේ වෙතත් වෙන්දේසිය සිදු කරන සදබි හොංකොං කාර්යාලය සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර තිබූ අළු බඳුනේ ඔබ්බවා තිබූ මැණික් ගල් මෙම එකතුවට ඇතුළත් වුවත් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඇතුළත් නොවන බවයි.