පුරාවස්තු සොයන්න ගිය 4 ක් බන්ධනාගාරයේ


(ක.ග. කරුණාරත්න)

පුරාවස්තු සෙවීමේ අරමුණින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව කියන පුද්ගලයන් 04 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 01 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස  දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්. වාසල මහත්මිය අද(23) නියෝග කළාය.

වනජීවී නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ පුරාවස්තු සහිත බිමක් වන දේශගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් ඔවුන් සන්තකයේ තිබී රසායනික වර්ග බෝතල් 02ක්, පෙට්‍රල් බෝතලයක්, හාපික් ලීටරයක්, මුහුදු වැලි පාර්සලයක්, රතු, කහ පැහැති නූල්, මන්තර පොතක්, ජංගම දුරකථන 05ක් ආදී උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.  

නිශ්චිත වශයෙන් හඳුනාගත හැකි තවත් එක් සැකකරුවෙකු පලාගිය බවද වනජීවී නිලධාරිහු අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියහ.
 
එම පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදුකර වැඩිදුර කරුණු වාර්තා කරන ලෙසට වනජීවී නිලධාරින්ට නියෝග කළාය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.ජී. වීරසේන මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවීය.