පුරාණ වාරි පද්ධතියේ පරිහානිය හා වන විනාශය උතුරේ ගංවතුරට හේතුවක්


 
(තරිඳු ජයවර්ධන)
 
උතුරු පළාතේ පුරාණ වාරි පද්ධතිය විනාශ වීම සහ වන ගහනය අඩු වීම එම පළාතේ ගංවතුර තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
 
එම පළාතේ විශාල වැව් කිහිපයකට අමතරව කුඩා වැව් රැසක් සහ පොකුණු රාශියක් තිබුණු බවත්, නමුත් මේ වන විට ඇළ මාර්ග විනාශ වී කුඩා වැව් රැසක් ගොඩ වී ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.
 
එල්ලංගා පද්ධතිය ද ඇතුළත් පුරාන වාරි පද්ධතිය නිසා ජලය රඳවා ගැනීමේ හැකියාව තිබුණු බව ද, අධික වර්ෂා කාලවලදී එම වාරි පද්ධතිය පිරී යන බව ද, අධික පායන කාලවල දී එම වැව් පද්ධතිය නිසා ලොකු නියං බලපෑමක් නොවන බව ද ඒ මහතා කීවේය.
 
එමෙන්ම උතුරු පළාතේ වන ගහනයද යුද්ධයෙන් පසු සීඝ්‍ර ලෙස අඩුවීගෙන යන බව කී ආචාර්ය කාරියවසම් මහතා වන වැස්මක් යනු ජලය රඳවා තබා ගන්නා වෙනම පද්ධතියක් යැයි ද සඳහන් කළේය.