පුද්ගලයන් 11 ක් අතුරුදන් කළ සිද්ධියට තවත් දෙදෙනෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)
 
කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ සුළු නිලධාරීන් දෙදෙනෙකු ලබන 28 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව වැඩබලන මහස්ත‍්‍රාත් දිමනි බැද්දේවෙල මහත්මිය අද (14) නියෝග කළාය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සංජීව ප‍්‍රසාද් සේනාරත්න සහ ‘අන්නාචි’ නමින් ආරූඪ නාමයෙන් හදුන්වනු ලැබූ නාවික හමුදා සුළු නිලධාරින් දෙදනෙකි. මෙම දෙවැනි සැකකරු ලබන 28 වැනි දා හදුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසටද අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කරනු ලැබීය.
 
මෙම සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ සම්පත් මුණසිංහ, නාවික හමුදා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී. කේ. පී. දසනායක, නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය, තම්මිට ඉහළගෙදර ධර්මදාස, රාපක්ෂ පතිරණලාගේ කිත්සිරි, කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්නදි අරුණ තුෂාර මෙන්ඩිස් යන අයවලූන් ය.
 
වර්ෂ 2008 අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් මස 17 වැනි දා අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වූ බව කියන සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයා විසින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල සිදුකර තිබිණි.