පුංචි සභා 138 ක් ඇරීම කල්යයි


(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන ආයතන339න්  එකසිය හැත්තෑ අටක් සභික  නම්   ලැයිස්තු භාරදීම ප්‍රමාද වීම  ප්‍රධානීන් පත් නොකිරීම හා  විවිධ නීතිමය ගැටලු  හේතුවෙන්   අද(2) දිනයේ   ස්ථාපනය කිරීම  ගැටලුකාරී වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව   සියලුම පළාත් පාලන ආයතන අද දිනයේ  පිහිටුවා අවසන් කළ යුතුවේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසූවේ  පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයට අදාළව  මෙතෙක් ලැබී ඇති සභික   ලැයිස්තු ගැසට් කර ඇති බවයි.

එසේම සියයට පනහකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ( බහුතරය ලැබූ)  පළාත්  පාලන ආයතන 161ක  නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවද ඔහු සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාව ඇතුළු තවත් සභා 178ක නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් නගර සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් ගැසට් කිරීමට තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන 161ක නම් ලයිස්තු  සම්පූර්ණ බවත්   එම සභා අද පිහිටුවීමට ගැටළුවක් ඇති නොවන බවත් මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියලුම සභිකයන්ගේ නම් ලැයිස්තු   මැයි 30 මධ්‍යම රාත්‍රී 12ට පෙර  දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට භාර දිය යුතු බවට  මැතිවරණ කොමිෂන් සභාව  ඉකුත්දා නියෝග කළේය. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂ සමහර ලැයිස්තු තවමත් භාරදී නොමැත. මේ සම්බන්ධයෙන්  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්  ආලෝක බණ්ඩාර මහතාගෙන් කරුණු විමසීමට උත්සහ දැරුවද එය ව්‍යාර්ථ විය.

අවශ්‍ය බහුතරය නොමැතිකම හේතුවෙන් කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 178ක නගරාධිපතිවරුන් නියෝජ්‍ය  නගරාධිපතිවරුන් සභාපතිවරුන් උපසභාපතිවරුන්  ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට සිදුව ඇත. මෙම ඡන්ද විමසීම් පළාත් පාලන  කොමසාරිස්වරයා විසින් ලබන සතියේදී සිදුකෙරෙනු ඇත