පුංචි පොකිරිස්සන් යළි මුහුදට


 ධීවර හා ජලජ සම්පත් ආඥා පනතින්  අපනයනය  තහනම් කර ඇති  කුඩා ජීවී පොකිරිස්සන් 669 ක් සහිත පෙට්ටි 8   නීති විරෝධී ලෙස වියට්නාමයට යැවීමට  උත්සහ කළ ව්‍යාපාරිකයෙක්   සහ ඒ සඳහා සහය දුන් වාප්පු ලිපිකරුවෙක්   රේගු ජෛව  විවිධත්ව ඒකකයේ නිලධාරීන් අද  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් අපනනයන සමාගමක හිමිකරුවෙකු බව රේගුව කියයි.  
සෙන්ටිමීටර් හයට අඩු කුඩා පොකිරිස්සන් අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ප‍්‍රමාණයෙන් විශාල පොකිරිස්සන් බලපත‍්‍රයක් යටතේ අපනයනය කළ හැකි වුවත් අදාල සමාගමට ඒ සඳහා හෝ බලපත‍්‍ර නොමැති බව රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා කීවේය.
මෙලෙස නීති විරෝධී ලෙස කුඩා පොකිරිස්සන් අපනයනය කිරීමට යාමෙන් පොකිරිස්සන් ගහනය අඩුවී මෙරට පරිසර පද්ධතියට බලපෑම් එල්ලවිය හැකි බවත් කීය.
මෙම පොකිරිස්සන් සහිත පෙට්ටි ආහාරයට ගන්නා මාළු වශයෙන්  රේගුවට ප‍්‍රකාශ කර  වියට්නාමයට යැවීම සඳහා සූදානම් කර  තිබියදී  රේගු ජෛව විවිධත්ව ඒකකය වෙත ලැබුණු තොරතුරක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් භාන්ඩ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොකිරිස්සන් සහිත  පෙට්ටිවල බර කිලෝග‍්‍රෑම් 136 කි.
මේ  පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත්  පී විජේවීර මහතාගේ උපදෙස් මත රේගු සමාජ ආරක්ෂන අංශයේ අධ්‍යක්ෂක කේ  ඞී නිකොලස්  සහ  රේගු  ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්සක ඞී. විජේසිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ජයලාල් ප‍්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරීවරුන් වන සහන් ජයසිංහ, අසංක ප‍්‍රියදර්ශන, තිලංක සමරවීර යන නිලධාරීහු සිදු කළහ.
මේ පිළිබඳව රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී. විජේසිරිවර්ධන මහතා විසින්  සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ එක හමාර බැගින් රුපියල් ලක්ෂ තුනක දඩ නියම කළ අතර පොකිරිස්සන්  669 දෙනා ගැඹුරු මුහුදට මුදා හැරීමට නියෝග කළේය.