පීසිආර් ප්‍රතිඵල එන්න කලින් සිරුර ඥාතීන්ට බාර දීලා


(සිරංගිකා ලොකුකරවිට)

කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකුගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර, මරණ පරීක්ෂණයක් ද නොපවත්වා ඥාතීන්ට භාර දී  ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය තැනැත්තාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අද(25) ලැබෙනවිට ඥාතීන් විසින් දේහය මිහිදන් කර තිබිණි.

මියගොස් ඇත්තේ ගාල්ල, මකුළුව, අළුත් පාර පදිංචි අබ්දුල් ජමාල් අස්මිල් නමැති වයස අවුරුදු 56 ක් වූ පුද්ගලයෙකි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් ඇතුළත් කිරීමේ දත්තවලට අනුව මෙම පුද්ගලයා ඊයේ (24) සවස 6.45ට පමණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ ඔහු ඇතුළත් වූ අවස්ථාවේ දී ම කෘතිම හෘද ස්ඵන්දනය පවා ලබාදුන් බවයි. ඇතුළත් කර විනාඩි 20ක් පමණ කාලයක් ඇතුළත මෙම පුද්ගලයා මියගොස් ඇත.

හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ම ඔහුගේ ජෛව සාම්පල ලබාගෙන එය පීසීආර් පරීක්ෂණයකට යවා දේහය ඥාතීන්ට භාර දී තිබේ. වාට්ටුවේ සේවය කරන ලද විශේෂඥ වෛද්‍ය චාමර ජයන්තිස්ස මහතා විසින් මේ පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ නිව්මෝනියාව හා ලේ විසවීම යන කරුණුවලින් බවත් ඔහුට ඇදුම රෝගය තිබූ බවත් සඳහන් කරමින් මරණයට හේතුව සඳහන් ලේඛනයක් ද ඥාතීන් වෙත නිකුත් කර තිබිණි. නමුත් සෞඛ්‍ය නිර්දේශය වන්නේ එවැනි මරණයක් අනිවාර්යයෙන් ම මරණ පරික්ෂණක් සඳහා යොමුකළ යුතු බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ රාජකාරී භාරව සිටි රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ,සී.පී.පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු මෙසේ කීවේය.
“එවැනි මරණයක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණ අංශයට ඉල්ලීමක් යොමු වී තිබුණේ නැහැ. නමුත් රෝහලට ගෙනැවිත් විනාඩි කිහිපයකින් මියයන පුද්ගලයකුගේ දේහයක් සාමාන්‍යයෙන් හදිසි මරණ පරීක්ෂණයකට යොමුකළ යුතුයි. ඒ වගේම පීසීආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගන්න මරණයක් කිසිසේත්ම මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට භාර දෙන්න බැහැ. පීසීආර් වාර්තා පැමිණෙන තුරු දේහය මෘත ශරීරාගාරයේ තබලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුවිය යුතුයි. නමුත් මේ දේහය මරණ පරීක්ෂණයක් සඳහා යොමුකර තිබුණේ නැහැ. මේ ගැන දැනගෙන සොයා බැලූ විට පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාව අද(25) උදෑසන 9.00ට පමණ රසායනාගාරයෙන් නිකුත් කර තිබුණා. ඒ වාර්තාව අනුව මේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැහැ. නමුත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ මරණයක් අනිවාර්යයෙන් ම අධිකරණ වෛද්‍ය අංශයේ දී මරණ පරීක්ෂණයකට යොමු විය යුතුයි.”

මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයේ දී කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා සිටියේ අධ්‍යක්ෂවරයා කාර්යාලයේ නොමැති බවයි. නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට ඇමතූ විට දුරකථන ඇමතුමට සම්බන්ධ වූ නිලධාරියා විමසා සිටියේ ප්‍රශ්නය කුමක් ද යන්නයි. සිද්ධිය විස්තර කර ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය බව කියා සිටි විට අධ්‍යක්ෂවරියගේ පිළිතුර වූයේ තමන්ට කිසිවක් කිව නොහැකි බවත් අධ්‍යක්ෂවරයාගෙන් විමසන ලෙසත්ය.