(ඩයනා උදයංගනී)
දිවයිනට බලපෑ ගිනිකොණ දිග අරාබි මුහුදු ප‍්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය අද (7) පස්වරුව වන විට කොළඹ සිට කිලෝමීටර 1650ක් පමණ දුරින් පැවති අතර එම පීඩන අවපාතය ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනෙන් බැහැරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මෙහි බලපෑමෙන් දිවයින පුරා බොහෝ ප‍්‍රදේශවලට තව දුරටත් වැසි ඇතිවන අතර දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානයන්ට හෙට (8) දිනයේත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවන බව ඔහු පැවසීය.
අනෙකුත් පළාත්වල ද පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු අනතුරු සහ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70-80 පමණ තද සුළං ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර සහ නාවුක ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

