පී.සී ‘සුදු පුතාගෙ‘ ගොව්වන්ට පහර දීලා?


නවගමුව පත්තිනි දේවාලයේ රන්දෝලි පෙරහරට 23 වැනිදා රාත්‍රියේ ගෙන ආ ‘සුදු පුතා‘ ඇතා භාරව සිටි ගොව්වන් දෙදෙනාට සාමාන්‍ය ඇදුමින් සැරසී සිටි පොලිස් කොස්තාපල්වරයකු පහර දුන්නැයි කියන සිද්ධියක් මත ඔවුන් හෝමාගම රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් හා පොලිස් ආරංචි කියයි.

ගොව්වන් දෙදෙනා බීමතින් සිටි බව කියතත් ඔවුන් වෛද්‍යවරයකුට ඉදිරිපත් කර නැත.

ගොව්වන්ට පහර දීම නිසා ඇතා කලබලයට පත් වුවත් තවත් ගොව්වකු ඇතා පාලනය කිරීම නිසා කලබලයකින් තොරව පෙරහර පවත්වාගෙන ගිය බව දේවාල ආරංචි කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ මෙවැනි සිද්ධියක් තමාට වාර්තා වී නැති බවයි.