පී.සී.ආර්. නොකිරිමෙන් මහජන සේවා සැපයීමේ අවදානමක්


 

 
( තිළිණි ද සිල්වා)
 
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් පස්දෙනකු වාර් තා වුවද  කාර් ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ නොකිරිමෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර් යාලයට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් අවදානමක් මැද අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි විය හැකි බවද සංවර්ධන නිලධාරි සේවා සංගමය කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම සංගමය වෙනුවෙන් එහි ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මෙම දැනුම් දී සිදු කර ඇත.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර් යාලය සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අවදානම් තත්ත්වයක පවතින බැවින් ඒ ගැන සොයා නොබලන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර් ග  එළඹෙන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය ප්‍රකාශ කරයි.

ඉහළ බලධාරීන් ආරක්ෂිතව නිල කාමරවල සිට මාධ්‍ය සංදර්ශන පවත්වමින් සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ජීවිත අවදානම පිළිබඳ නොසළකා සිටින බවද සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දේ.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ මේ වනවිට ආසාදිතයන් පස්දෙනකු වාර් තා වී ඇතත් එහි කාර් ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන නොමැති බවද හෙතෙම පවසයි.

එම නිසා එම කාර් යාලයේ සියලුම නිලධාරීන්ට කඩිනම් පී.සී.ආර්. පරීක්ෂණ විධිමත් හා සෞඛ්‍යාරක්ෂිත ස්ථානයකදී සිදු කිරීමට පියවර ගන්නා ලෙසත්, සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් නිරෝධායනය කිරීමට පියවර ගන්නා ලෙසත් ප්‍රධාන ලේකම්වරයා අදාළ නිලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.