පී එස් ඩී දහයකට වසර හතර හමාර බැගින් සිර දඩුවම්


රූකාන්ත  චන්ද්‍රෙල්ඛා ගායක   නඩුවේ විත්තිකරුවන් දස දෙනකු වරදකරු කළ  පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ආර් බී සෝමරත්න නිදොස් කර නිදහස් කළාය. සෙස්සෝ චෝදනා පහටම වැරැදි කරුවෝ වුහ.

රූකාන්තට හා චන්ද්‍රෙල්ඛාට රුපියල් දෙලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස  ඔවුන් දස දෙනාට නියම කළ විනිසුරුවරිය එය නොගෙවන්නේ නම් බරපතල  වැඩ සහිතව දෙවසරක සිර දඩුවමක් නියම කරන බව ප්‍රකාශ කළාය.

පළමුවැනි චෝදනාවට බරපතල වැඩ සහිත මාස 6  බැගින්ද සෙසු චෝදනා 4 ට බරපතල වැඩ සහිත වසර බැගින්ද සිර දඩුවම් නියම විය.සිර දඩුවම් වෙනවෙනම ගෙවී යා යුතු බව විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

5 වැනි විත්තිකරුට ලිහිල් දඬුවම් නියම විය.

තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව සැකකරුවන් වෙන් වෙන් පෙනී සිටි නීතීඥයකු වන යු ආර් ඩී සිල්වා මහතා පැවසීය.

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වු ඔවුහු වසර 13 කට වැඩි කාලයක් මේ නඩුවට පැටලී සිටියහ.රැකියාවද අහිමි විය.ඔවුන්ගේ නම් මෙසේය.

 ඒ බන්දුල මධුෂාන් කුමාර , නිහාල් විජේසිරි , සරත් කුමාර රූපසිංහ, ආර්. බී කාරුණාසේන ජයලත් (සිවිල් සේවක), ලෙස්සි චන්ද්‍රසිරි, අතුල සේනාරත්න, , ආර් ධර්මසේන, බී ලලින්ද රාජරත්න, සම්පත් රණසිංහ, උපාලි ආරියදාස,

රූකාන්ත හා චන්ද්‍රලේඛා පදිංචිව සිටි පොල්ගස් ඕවිට මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවසට 2000 ජනවාරි 26 වැනිදා රාත්‍රී 8 ට පමණ මේ ප්‍රහාරය එල්ල විය.