බස්නාහිර පළාත් දෙවැනි වාර අවසාන විභාගය වෙනුවෙන් පිළියන්දල කලාපයෙන් ලබා දුන් සිංහල හා ගණිතය ප්‍රශ්න පත්‍ර ඊට පෙර උපකාරක පන්තියක ඉගැන්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අද (16) මොරටුවේ ප්‍රධාන පාසලකට ගොස් විමර්ශන ඇරැඹීය.
පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු කණ්ඩායමක් ද අද (16) පිළියන්දල කලාපයේ පාසල් කිහිපයකට ගොස් සිද්ධිය ගැන සොයා බැලූහ.
වාර විභාගයේ 11 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (17) පැවැත්වීමට නියමිත විද්‍යාව ප්‍රශ්න පත්‍රයද කළින් පිටවීයැයි ලද තොරතුරකට අනුව ප්‍රධාන පෙළේ පාසලක සිසුන්ගෙන් ඒ ගැන විමසද්දී පිළිතුරු ලියාගෙන ආ කොළ ගුරුවරුන් අතට පත් කර ඇත. සිසුන්ගෙන් ඒවා ලබා ගත් ගුරුවරු ඒවා කලාප අධ්‍යාපන අධයක්ෂවරියට හා සෙසු අධ්‍යක්ෂවරුන්ට භාර දුන්හ.
එම පිළිතුරු පත් හෙට (16) පැවැත්වීමට නියමින විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත් සමග සන්සන්ධනය කරද්දී පළමු ප්‍රශ්න 15 පිළිතුරු ඒ ආකාරයෙන්ම ගැලපී තිබිණි. කළාප අධ්‍යක්ෂවරිය උපදෙස් දී ඇත්තේ කිසිදු විභාගයක් අහෝසි නොකර එලෙසම පවත්වන ලෙසයි. ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිංහල හා ගණිතය ප්‍රශ්න පත්‍රවලද පිළිතුරු පරීක්ෂා කර සිසුනට ලකුණු දෙන්නැයි ගුරුවරුන්ට උපදෙස් ලබා දී ඇත.
පිටවූ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු පරීක්ෂා කර ලකුණු ලබා දෙන්නැයි කීම විහිළුවක් බවත්, එය ගුරුවරුන්ගේ කාලය කා දැමීමක් මෙන්ම සිසුනට ද කරන අසාධාරණයක් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ප්‍රශ්න පත්‍ර පිටවූ බව දැන දැනත් ඒවා යටපත් කරනවා වෙනුවට කළ යුත්තේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ කෙසේදැයි සොයා බලා නිසි පියවර ගැනීම හා පිටවූ ප්‍රශ්න පත්‍ර නැවැත පැවැත්වීම බව ද ස්ටාලින් මහතා කීවේය.
පිළියන්දල කලාපයේ පාසලක ගුරුවරයකු කීවේ මෙතෙක් පැවැති ප්‍රධාන විෂයන් හතරෙන් තුනකම ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට සිසුන්ගෙන් දැනගත් බවයි.
පසුගිය වසරේ දෙවැනි වාර පරීක්ෂණයේ ද ප්‍රශ්න පත්‍ර රැසක ගැටළු වාර්තා වූ අතර ඇතැම් ප්‍රශ්න පත්‍ර නැවත මුද්‍රණය කිරීමට පවා සිදු විය. ආර්යයන් ලංකාවට ආ දුම්රිය මාර්ගය කුමක්දැයි ගිය වසරේ අසා තිබුණේ ද පිළියන්දල කලාපයේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයකය.
මේ ගැන විමසීමට පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

