පිළියන්දල දහයේ සිසුන්ට ඉළ ඇදෙන ප්‍රශ්නයක්


පිළියන්ද කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අද (19) පැවැත්වූ ප්‍රශ්න පත්‍රවල ද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු පැවසූහ.

11 ශ්‍රේණිය බුද්ධ ධර්මය පළමු ප්‍රශ්න පත්‍රයේ 9, 17, 18, 21, 25, 31, 34 සහ 37 යන  බහුවරණ ප්‍රශ්න වල අක්ෂර මුද්‍රණ දෝෂ තිබූ බවත්, 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය දෙවැනි පත්‍රයේ පළමු සහ හය වැනි ප්‍රශ්න වල මුද්‍රණ දෝෂ වූ බවත් සිසුහු කීහ.

10 ශ්‍රේණිය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේද මුද්‍රණ දෝෂ තිබූ බව සිසුහු සහ ගුරුවරු සඳහන් කළහ. එම ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ ‘ ආර්යයන් පැමිණි දුම්රිය මාර්ගය කුමක්ද?‘ යනුවෙන් ප්‍රශ්නයක් අසා තිබිණි.

මේ ප්‍රශ්නය කියැවූ සිසුන් බොහෝ දෙනා සිනාසුණු බවත්, එය උපහාසාත්මක සිනහවත් බවත්, මේ ප්‍රශ්නයෙන් අසන්නට උත්සාහ දරා ඇත්තේ ‘ආර්යයන් පැමිණි දුර්ග මාර්ගය කුමක්ද‘ යන්න බවත් නම හෙළි නොකළ ගුරුවරයෙක් පැවසීය.

 

මේ අතර පිළියන්දල කලාපයේ මෙතෙක් පැවති ප්‍රශ්න පත්‍රවල උත්තර පත්‍ර මෙතෙක් ලබා දී නැතැයි වාර්තා වේ. උත්‍ර පත්‍ර ලබා නොදෙන්නේ ඒවායේත් අඩුපාඩු පවතිනා නිසායැයි සැකයක් මතුවන බව ගුරුවරු කියති.

දෝශ සහිත ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දීම ගැන තමාට වාර්තා වූ පසු ඒ ගැන සොයා බැලූ බවත්, විෂය අධ්‍යක්ෂවරුන් එකතුවී සැකසූ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය සදහා ලබා දී ඒවායේ සෝදුපත් බලා එහි තබූ වැරදි අඩුපාඩු සකස් කළ බව විමර්ශනයේදී හෙළි වූ බවත්, එම නිවැරදිකිරීම් නොසලකා වැරදි සහිත ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ඇති බවත්, ප්‍රශ්න පත්‍ර නිවැරදිව තිබුණේදැයි මුද්‍රණයෙන් පසු අවසන් වශයෙන් බලා නැතැයි හෙළි වූ බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පාසල් 10ක පමණ සංශෝධිත ප්‍රශ්න පත්‍ර නැවත සකස් කර සිසුන් අතර පත් කර තිබූ බව ද, තවත් පාසල් 70ක සංශෝධිත දෑ සිසුනට ලියා ගැනීම දී ඒ සහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව ද,  රණතුංග මහතා කීවේය.