පිල්ලෙගෙ වාර්තාව ජී.ඇල් පට්ටගහයි


ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා අසත්‍ය කරුණු අන්තර්ගත වන වන වාර්තාවක් යැයි ශී්‍රලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ඊයේ (05)  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට සහභාගී වී සිටි රාජ්‍ය නායකයින් අමතමින් කළ දේශනයේදී පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නවී පිල්ලේ තම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද වන ප්‍රඥප්තිය උල්ලංඝණය වන අයුරින් නිර්මානය කර ඇති බවයි.රටක අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිඹද ප්‍රඥප්තියේ කිසිදු සදහනක් නැති වුවත් නවී පිල්ලේ මහත්මිය ප්‍රඥප්තියටත් එහා ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

ඇයගේ වාර්තාවට සහය දෙන්නවුන්ට අවශ්‍යව ඇත්තේ ප්‍රතිසංස්කරණයන් හා සමාජය ප්‍රතිව්‍යුහ ගත කිරීම ඔස්සේ හිස ඔසවන ශ්‍රී ලංකාවේ ගමන ප්‍රමාද කිරීම බව ඔහු සෘජුවම චෝදනා කළේය.

නොනවත්වාම ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට තැත් කරන මානව හිමිකම් කවුන්සිලය 30 වසරක යුද්ධයකින් පසු ශ්‍රී ලංකා රජය වසර 5 ක් වැනි කෙටි කාලයකදී රට නගා සිටුවීමට ගෙන ඇති පියවර නොසළකා හැර ඇතැයි අමාත්‍යවරයා තම දේශනයේදී පැවසීය.ජාතීන් රැසක් වාසය කරන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කි්‍රයාදාමය ඉතා සංවේදී කටයුත්තක් බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය කාලය ලබා නොදී කවුන්සිලය අසාධාරණ, අයුක්තිසහගත ඉල්ලීම් හා යෝජනා ගෙන එමින් ශ්‍රී ලංකාවේ ගමනට බාධා කරන්නේයැයි කීය.

ශී්‍රලංකාව හා සමාන තත්ත්වයන් ඇති වෙනත් රටවලට එක් විදියකටත් ශ්‍රී ලංකාවට තවත් විදියකටත් කවුන්සිලය සළකන්නේ මන්දැයි අමාත්‍යවරයා විමසීය.

කවුන්සිලයේ ආරම්භය සනිටුහන් කළ සදුදා (3) දිනයේදීම එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් මංගල සැසිවාරයේදීම කරුණු සදහන් කිරීමද අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා යනු ස්වාධීන, අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ යුතුවන පුද්ගලයෙකු වුවත් මහලේකම් වරයා සමුලූව ආරම්භ වන විටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු වන පියවර ගැන සදහන් කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කවුන්සිලය ගන්නා තීන්දු තීරණයන්ගේ සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලූ ඇති කරන්නක් බව හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ අත්කර ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිවිල් ජනයා සම්බන්ධයෙන් වන පාලන කටයුතු වලට හවුල්කරගෙන නැතැයි ඔහු පැවසීය. ආණ්ඩුකාරවරුන්, ආයතනයක පාලන මණ්ඩලය, ආදී තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමේ අයිතිය ඇත්තේ රටක රජයට බවත් නමුත් ශ්‍රී ලංකාවේ මේ කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව අනවශ්‍ය ලෙස මැදිහත් වන බවත් එය පැහැදිලිවම අන්තර්ජාතික සබදතා වල පරමාර්ථය උල්ලංඝණය කරන්නක් බවත් ඔහු චෝදනා කළේය.

ජාතික ගැටලූවට දේශපාලනික විසදුමක් ගෙන ඒමේ අරමුණින් පත් කෙරුණු පාර්ලිමෙන්තු තේරීම් කමිටුවට සහභාගී වීම දෙමළ ජාතික සන්ධානය පැහැර හැරීමද ඇමතිවරයාගේ විවේචනයට ලක්විය.දෙමළ ජාතික සන්ධාන සිතාමතාම රටේ ඉදිරි කටයුතු වලට බාධා කරන්නේයැයි පෙනී යන බවත් එසේ වුවත් ඔවුන් නොමැතිව හෝ පාර්ලිමෙන්තු තේරීම් කමිටුව තම වැඩකටයුතු සිදුකරගෙන යන බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිනී නවී පිල්ලේ ශී්‍රලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද වන කවුන්සිලයට ඉදිරිපත් කර තිඛෙන වාර්තාවේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණය කිරීමට රජය ගෙන ඇති පියවර විවේචනය කර තිබේ.ඇයගේ යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමට හා අවශ්‍ය උපදෙස් ලබා දීමට අන්තර්ජාතික කමිටුවක් පත් කළ යුතු වේය යන්නයි.ඇමරිකාව ඇතුලූ බහුතර බටහිර රටවල් ඇයගේ වාර්තාවට දැනටමත් සහය පළ කර ඇත.කවුන්සිලයේ ඉතිරි සාමාජිකයින් වාර්තාවට කෙසේ පක්ෂපාතීත්වය දක්වන්නේදැයි දැනගත හැකි වන්නේ ඉදිරියටය.