පිඳුරංගල ගලමත නිරුවත් ඡායාරූප ගත් තිදෙනෙක් අත්අඩංගුවට


(කාංචන කුමාර ආරියඅදාස )


පිදුරංගල ගල මත නැග   නිරුවත් ඡායාරූප ගැනීමේ  සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව  පොලීසිය පවසයි.

19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 මොවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය  ඔවුන්ගේ නිවෙස්වලට ගොස්  තිදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයන් තිදෙනාට අමතරව තවත් තරුණයන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ .තරුණයන් පස්දෙනා ම පසුගිය දිනක සීගිරිය පිදුරංගල පර්වතයට නැග තිබෙන බවත් එයින් තරුණයන් දෙදෙනෙකු දැඩි ලෙස මෙම තරුණයන් තිදෙනාට මෙසේ අසභ්‍ය ඡායාරූප නොගන්නා ලෙස අවවාද කළ බව පොලිසියට ප්‍රකාශ කොට තිබේ. එහෙත් මිතුරන්ගේ කීම නොඅසා මෙයාකාරයෙන් පින්තූර ලබා ගෙන ඇතැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව   පොලිස් භාරයට ගත් එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ සටහන් කොට සාක්ෂිකරුවන් ලෙස යොදා ගන්නා බවත් ඔවුන්  ප්‍රරකාශ සටහන් කිරීමෙන් අනතුරුව මුදා හැරීමට නියමිත බව පොලිස් පරීක්ෂක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙසේ අඩනිරුවතින් ඡායාරූප ලබාගත් සහ ඡායාරූප වලට පෙනී සිටි තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී සඳහන්  කර ඇත්තේ විදේශීය කාන්තාවක් සීගිරිය පිදුරංගල පව්වේ සිට මෙයාකාරයෙන් පින්තූරයක් ලබාගෙන එම පින්තූරය අභියෝගයට ලක්කරමින් මූණුපොතේ මුදාහැර තිබුණු බවය. එම අභියෝගයට මුහුණ දෙමින් තමන් ද ඒ ආකාරයෙන් ම එම ස්ථානයේ රැඳී සිටිමින් නිරුවත පෙන්වමින් ඡායාරූපයක් ලබාගෙන මූණුපොතට යොමු කළ බව ද සඳහන් කර තිබේ. 

 කෙසේවෙතත් අත්අඩංගුවට ගත් තිදෙනා 27 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සාක්ෂි සඳහා යොදා ගත් තරුණයන් දෙදෙනා  ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු මුදාහැරීමට කටයුතු කරන බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.