පිදුරන්ගලදී අසභ්‍ය ඡායාරූප ගත් දෙදෙනකු හඳුනා ගැනේ



(කාංචන කුමාර ආරියදාස)


ඓතිහාසික සීගිරිය පිදුරංගල ගල මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන සීගිරිය පොලිසිය කියයි.


මුහුණු පොත හරහා සමාජ ල වෙබ් අඩවි වලට එම ඡායාරූප වලට පෙනී සිටිමින් මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


 සීගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට යවා තිබෙන බවයි.


මෙම තරුණයන් දෙදෙනා අනාවරණය කරගැනීම සඳහා විශාල මුහුණු පොතේ කණ්ඩායම් සීගිරිය පොලිසියට සහයෝගය දක්වා ඇති බවත් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පෞද්ගලික පිරිස් ද පැමිණ සහයෝගය ලබාදුන් බව පොලිසිය කියයි.


මෙම ඡායාරූප ලබාගෙන මූණු පොත හරහා සමාජයට හෙළිකළ තරුණයන්ගේ මිතුරෙකුගෙන් ඔවුන් සිදුකළ ක්‍රියාවලිය පිළිබඳව විමසීමේ දී කියා සිටියේ තමා මූණුපොතේ ප්‍රතිචාර වැඩි කර ගැනීම සඳහා එය සිදු කළ බව යි.