පිටිපන කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයට ලෙඩක්


රුපියල් කෝටි 200 ක් වැයකර 2015 දී හෝමාගම පිටිපන ඉදි කළ දකුණු ආසියාවේ විශාලතම කිරුම් මිනුම් පර්යේෂණ ආයතනයේ ජාතික මිනුම්

විද්‍යාගාරය විස රසායන සහිත වායුවක් පැතිරීම හේතුවෙන්  මාස තුනක පමණ කාලයක සිට වසා දමා ඇතැයි එහි සේවකයෝ කියති.

මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්මේන්තුවට අයත් මෙහි පරීක්ෂණාගාර 60 කින් සමන්විත ජාතික මිනුම් විද්‍යාගාරය මෙලෙස වසා දමා ඇති අතර මෙහි විස හේතුවෙන් සේවයේ නිරත තමන්ට ස්වසන ආබාධ, හිසරදය, උගුරේ ආබාධ නිරන්තරයෙන් කඳුළු ගැලීම ආදි රෝග පීඩා රැසක් හට ගෙන ඇතැයි  එහි සේවක පිරිස සැප්තැම්බර්  21 වැනිදා ලිපියක් මගින් ආයතනයේ අධ්‍යක්ෂකවරයාට දැනුම් දී ඇත.

තම ශරීරවලට මෙම විෂ රසායනික පිළිකා කාරක ඇතුළු වී ඇද්දැයි සොයා බැලීමට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් කිරීම සහ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

පර්යේෂණාගාරයෙහි යම් පිළිකා කාරකයක් ඇත්නම් එය වර්ධනය වී පිටතට පැතිර ගියොත් මහා ව්‍යසනයක් වීමට ඉඩ ඇති බැවින් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් මිනුම් ඒකක හා ප‍්‍රමිති සේවා දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ කේ. පේ‍්‍රමසිරි කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ එම

පර්යේෂණාගාරයේ යම් කිසි රසායනිකයක් පැතිරීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කර වාර්තාවක් ලැබෙන තුරු කෙටි කලකට වසා දමා තිබෙන බව

සත්‍යයක් නමුත් එහි පිළිකා කාරකයක් පැතිරෙනවාද යන්න තවම සනාථ වී නැති බවයි.

ඒ පිළිබඳ අමාත්‍යාශයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුකර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.