පැරිස් වස් පිංකම


ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගියදා විහාරාධිපති  පරවාහැර චන්දරතන නාහිමිපාන් වහන්සේගේ අනුශාසනා පරිදි බුවාද වැන්සන්හි පිහිටි එම විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබිය.

ප්‍රංශයේ ජිවත්වන ශ්‍රී ලාංකික මෙන්ම විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතාමත් අලංකාර අන්දමට පැවැත්වුන මෙම පිංකම සඳහා ශ්‍රී ලංකාවෙන් සහ ප්‍රංශයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරයන්හි මහා සංඝරත්නය 12 නමක් වැඩම කළහ.

පැරිසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති  කෝ.ආනන්ද හිමි, පැරිස් නුවර  ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවේනාධිපති බලන්ගොඩ සෝභිත නාහිමි, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහෝපාධ්‍ය  ඉත්තදෙමලියේ ඉන්දසාර නාහිමි, පුවක්ගහහෙනේ වජිරඥාන නාහිමි, රත්මලාන සමාධි බෞද්ධ විහාරාධිපති මාපලගම බුද්ධසිරි නාහිමි, මනම්පිට අමිත හිමි, කොළඹ සම්බුද්ධලොක විහාරස්ථානයේ විතාරන්දෙණියේ මේධානන්ද හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි ඇතුළු මාහ සංඝරත්නය මුළු දවස පුරාවටම පැවති බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සහ පිරිත් දේශනා ආදී සියලු වැඩකටයුතු සඳහා සහභාගී වුහ.

මේවසරේ කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දරන ලද්දේ ලාඕස් ජාතික සැදැහැවතියක විසිනි.

විහාරස්ථ දායක කාරකාදීන් සියලුම දෙනා එදින වැඩකටයුතු සඳහා උපරිම ශ්‍රම දායකත්වය සැපයු බව චන්දරතන හිමියෝ පැවසුහ.

කඨින චිවරය සකස්කිරීමේ සහ පුජාකිරීමේ අවස්ථාවට ශ්‍රී ලාංකික, තායිලන්ත, වියට්නාම, බංග්ලාදේශ, ප්‍රංශ සහ ලාඕස් ජාතික සැදැහැවතුන් සහභාගී වුහ. පිංකම සඳහා වැඩමකළ මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමූ අතර ගිහි පින්වත්හු  සියලුම දෙනාට ආහාර පානාදියෙන් සංග්‍රහ කරනු ලැබුහ.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන හඟවත්ත මහතා සහ එම මහත්මියද පිංකම සඳහා සහභාගිවුහ.