පැරිස් නුවර වෙසක් සිරියෙන් ඇළලේ


ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය මඟින් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක  පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන වෙසක්  පිංකම මෙවරත් බුවාද වන්සන්හි පිහිටි විහාරස්ථාන භුමියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
 
මේ පිංකම සඳහා පැරීසියේ ජීවත්වන විවිධ ජාතිකයන් මෙන්බ බුදු දහම පිළිබඳව දැනගැනීම සඳහා උනන්දුවක් දක්වන ප්‍රංශ සහ වෙනත් යුරෝපීය ජාතිකයෝ ද විශාල පිරිසක් සහභාගී වුහ.
 
මානසික සැනසීම ප්‍රගුණ කර ගැනීම සහ කුසල් රැස් කර ගැනීම සඳහා උපයෝගීවන ඥාන පුජාමය පින්කමද මෙවර වෙසක් උත්සවයට සමගාමීව පවත්වනු ලැබීය. මෙම පුජාව මෙහෙයවුයේ  මහගම සුනීත හිමියන් විසිනි.

 පිංකම සංවිධානය කරතිබුණේ ප්‍රංශයේ අභිනවයෙන් ගොඩනැංවීම සඳහා කටයුතු ආරම්භකර ඇති බුද්ධ මන්දිරයේ වැඩකටයුතු සඳහා ආධාර ලබාගැනීම අරභයා බව විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියෝ පැවසුහ.

පැරිස් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, ලාඕස, වියට්නාම්, තායිලන්ත සහ චීන ජාතික බෞද්ධ සැදැහැවතුන් පින්කමේ වැඩ කටයුතු සංවිධානය කිරීමෙදී සහායවු අතර පිංකම සඳහාද සහභාගී වුහ.

එදින උදය වරුවේදී සම්බුද්ධ පුජාවක් සහ පිණ්ඩපාත දානය පැවැත්වූ අතර ශ්‍රී ලාංකික දවුල් වාදන කණ්ඩායමක් සහ බෞද්ධ කොඩි සේසත් රැගත් විශාල පිරිසක් සහභාගීවූ සදාතුක කරඬුව වැඩමවූ දර්ශනීය බොදු පෙරහැරක් ද පවත්වනු ලැබීය. දවස පුරාම දාන සීල භාවනා වැඩසටහන් සංවිධානය කර තිබුණි.
පින්කමේ කටයුතු අවසන් කෙරුනේ ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත සංදර්ශනයකිනි.
 
පින්කමේ කටයුතු සඳහා පැරිසියේ ජේතවන විහාරාධිපති  මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිහිමි, කහතුඩුවේ සම්බුද්ධාලෝක විහාරාධිපති  විටියල ඉන්දසාර හිමි, ප්‍රන්සයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී, මාපලගම ජිනානන්ද හිමි, පරපේ විමලරතනාහිමි, ශ්‍රී ලංකාවේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පුජ්‍ය කිරින්දේ පේමසිරි හිමි පැරිස් බෞද්ධ විහාරවාසී  රේවත හිමියන් ඇතුළු මහාසංඝ රත්නය සහභාගීවූ අතර ප්‍රංශයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති ස්වර්ණා පෙරේරා මහත්මිය සහ දෙවන ලේකම් ජෝර්ජ් කුක් මහතාද ආරාධිත අමුත්තන් ලෙස පැමිණියහ.