පැරිස් ගුවන්තොටුපොළේ අතරමං වූ ජාතික මේසපන්දු කණ්ඩායමට ශී‍්‍ර ලාංකික සංවිධානයක් පිහිටට එයි


ප‍්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ලෝක මේසපන්දු ශූරතාවලියට සහභාගීවීම සඳහා ගිය ශී‍්‍ර ලංකා මේසපන්දු කණ්ඩායමට නවාතැන් සොයාගත නොහැකිවීම නිසා පැරිසියේ චාර්ල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළේදී අතරමංවූ අවස්ථාවේදී ඔවුන්ට එදින රාති‍්‍රයේ පැරිස් නුවර නවාතැන් සැපයීමට ප‍්‍රංශ . ශී‍්‍ර ලංකා සුභසාධන සංගමය කටයුතු කළ බව වාර්තා වේ.

නවදිල්ලි නුවරදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියට සහභාගි වීමෙන් පසුව පැරිස් නුවරට පැමිණි ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට එදින රාති‍්‍රයේ ගතකිරීමට සූදානම් වූයේ ‘චාර්ල්ස් ඩි ගෝල්’ ගුවන් තොටුපොළේ බව පැරිස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සුනිල් ආනන්ද මහතා පවසයි.

ඊට හේතු වී ඇත්තේ ඔවුන්ට නිලවශයෙන් තරග සංවිධායකයන්ගේ නවාතැන් හිමිවන්නේ පසුදිනයේ සිට වීමය.
කෙසේ වෙතත් ගුවන්තොටුපොළ පර්යන්තයේ කොනක නිදාගැනීමට සැරසුණු බව කියන සංචාරක ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම එදින රාති‍්‍රයේම ගුවන් තොටුපොළෙන් පිටතට කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර සමග නවාතැන් පහසුකම් සපයා දීමට මැදිහත් වී ඇත්තේ ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩකයකු වන මොහාන් ප‍්‍රනාන්දු, සනත් මුතුනමගොන්නගේ, රංජිත් අහංගමගේ, ප‍්‍රසංග සිල්වා සහ රංජන් ප‍්‍රනාන්දු යන ප‍්‍රංශ . ශ්‍රී ලංකා සුභසාධන සංවිධානයේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙනි.

ලෝක මේසපන්දු ශූරතාවලිය ඊයේ (20) නිමාවට පත්වීමට නියමිතව තිබුණු අතර ඊට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩකයෝ සිවු දෙනෙක්, කී‍්‍රඩිකාවෝ පස් දෙනෙක් සහ නිලධාරීහු දෙදෙනෙක්  ඇතුළත් වූහ.