(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ප්‍රධාන රටවල් දහයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඉදිරි දිනවල හමුවීමට තීරණය කර ඇතැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.
එසේම රජයේ මේ තීරණයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය තොරතුරු එක් රැස් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීම නීති විරෝධී බවට සඳහන් කෙරුණු චිත්‍රසිරි කමිටුවේ වාර්තාව තමා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් තුනක් ඉදිරිපත් කළත් මෙතෙක් ඒවාට පිළිතුරු ලබාදී නැතැයි පැවසූ ප්‍රේමසිරි මානගේ මහතා ඒ සම්බන්ධයෙන් තමා කණගාටුවන බවද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
එය අතීතයටද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය. මාසික විශ්‍රාම වැටුප ලබන හිටපු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 330කි. මෙයට අමතරව හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 182ක්ද විශ්‍රාම වැටුප ලබන බව වාර්තාවේ. හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් රජය මාසික වැය කරන මුදල දෙකෝටි තිස්පන් ලක්ෂයකට වැඩිය.