පාහියන්ගල මානවයාට මුහුදු වෙරළත් හුරු පුරුදු පාටයි


බුලත්සිංහල පාහියන් ගල ලෙනෙන් හමුවූ වසර 37000කට වඩා පැරණි මෙසෝලොතික මානවයාගේ සම්පූර්ණ ඇටසැකිල්ල ලාංකීය පුරාවිද්‍යා උරුමයේ කොටසක් පමණක් නොව ලෝක පුරාවිද්‍යා උරුමයේ කොටසක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මාධ්‍ය හමුවකදී පැවැසීය. මේ ඇටසැකිල්ල පිහිටා තියෙන්නේ ගල් ඇන්දක හිර වෙලා. ඒ නිසා එය එතැනින් ඉවත් කිරීමේදී යම් හානියක් සිදුවීමේ අවදානමක් තියෙනවා. පාහියන්ගල ලෙනෙහි සිදුවූ පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්‍ෂ නිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. ”මෙහි කැණීම් ව්‍යාපෘතිය 1986 වර්ෂයේ ආරම්භ කළේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. විජේපාල මහතා විසින්. ප‍්‍රධාන ගල් ලෙනේ කරපු කැණීම් වලින් කිසිදු තොරතුරක් නොලැබුණු නිසා පහළ ගල් ලෙනේ කැණීම් කටයුතු ආරම්භ කළා. එහිදී අදින් වසර 36000 සිට 5000 දක්වා කාල පරාසයට අයත් ප‍්‍රාග් ඓතිහාසික ජනාවාස අවධි 5ක් පිළිබඳව තොරතුරු සොයා ගනු ලැබූවා. ඉන්පසුව 2007 හා 2008 වර්ෂවලදී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල්ගේ පුර්ණ මග පෙන්වීම මත ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ උපදේශකත්වයෙන් හා පළපුරුදු කැණීම් නිලධාරීන් අතින් මෙම ඓතිහාසික පර්යේෂණ ඉතිහාසයේ 6 වන අදියර ආරම්භ වුණා. එහිදී පාහියන් ලෙනේ පහළ කුඩා ලෙන ආශ‍්‍රිතව සිදු කළ කැණීම්වලින් මානව ජනාවාස ස්තර උප සතරද සහිතව 129ක් හඳුනා ගත්තා. එහිදී ආදි මානව සංස්කෘතියක බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා. මේ පර්යේෂණයේ වැදගත්ම සංධිස්ථානය ලෙස ප‍්‍රථම වරට ලෙන් කැණීමක අනුසාරයෙන් සම්පූර්ණ ප‍්‍රාග් ඓතිහාසික මානව ඇටසැකිල්ලක් සොයා ගත්තා. කාල නිර්ණ පරීක්‍ෂාවන්ට අනුව එය වසර 30000කට වඩා පැරණි බව විශ්වාස කරනවා. ඒ වගේම මෙහි කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයේ ලකුණ ලෙස හැඳින්වෙන ජ්‍යාමිතික ලකුණු යුත් ගල් ආයුධ සොයා ගත්තා. ඒ වගේම මෙම ලෙන ආශ‍්‍රිතව ලූණු බෙල්ලන්, මුහුදු පබළු හා මෝරෙකුගේ දතක් සොයා ගැනීමට අපට හැකි වුණා. මේ නිසා අපට හිතන්න පුළුවන් නවීන මානවයා, පුරාතනයේ සිටම මුහුදු ආශ‍්‍රිතව සම්බන්ධතා පැවැත් වූ බවට. මෙම කැණීම් සඳහා අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තරුණ නිලධාරීන්ගේ වගේම විශ‍්‍රාමලත් නිලධාරීන්ගේ සහයෝගය ගත්තා. ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින්ගේ සහය ගැනීමට බලාපොරොත්තු වෙනවා. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ”මෙම පුරා විද්‍යා කැණීම් සඳහා දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යාඥයින්ගේ අනර්ඝ සහයක් ලැබුණා. මගේ අත්දැකීමට අනුව ලෙන් කැණීමක් කියන්නෙ ඉතාම අපහසු කටයුත්තක්. පුරාවිද්‍යා කැණීමක් කරනවා කියන්නේ ශල්‍යකර්මයක් කරනවා වගේ ඉතාම සංකීර්ණ කටයුත්තක්. අවම වශයෙන් මෙවැනි කැණීමක් කරන්න අවුරුදු 10 - 15කවත් අතේ හුරුවක් තිබිය යුතුයි....”