පාසල් වයස් සීමා පිහිනුම් තරග අද සිට


ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය විසින් 40 වැනි වටත් සංවිධානය කරනු ලබන පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලිය අද (18 වැනිදා) සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

වයස අවුරුදු 9 න් පහළ, 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් කාණ්ඩ 6 ක් යටතේ බාලක, බාලිකා අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලිය කේවල තරග ඉසව් 140 කින් මෙන්ම සහය තරග ඉසව් 24 කින් සමන්විතවේ. තරගාවලිය සඳහා පාසල් 180 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 1612 ක්ද කී‍්‍රඩිකාවෝ 978 ක්ද සහභාගි වෙති.
අධ්‍යාපන අමාත්‍යංශ්‍ය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නව නීතියකට අනුව වයස අවුරුදු 13 න් පහළ ළමුන් සඳහා තරගකාරී තරග ඉසව් පැවැත්විය නොහැකි බැවින් වයස අවුරුදු 13 න් පහළ තරග වලදී පරිසාධන මට්ටම දක්වා දස්කම් දක්වන ළමුන් සඳහා සහතික පත‍්‍ර පමණක් පිරිනැමේ. සෙසු තරග වලදී ප‍්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන වලට සහතික පත් සමග පදක්කම් පිරිනැමීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ.

කණිෂ්ඨ, ජේෂ්ඨ සහ සමස්ත ලෙස කොටස් 3 කින් (බාලක/බාලිකා) අංශ සඳහා ශූරතා පිරිනැමෙන අතර වයස අවුරුදු 13 න් ඉහළ සියලූම වයස් කාණ්ඩ කේවල තරග වලදී බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම දක්ෂතම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවට කුසලාන පිරිනැමේ.
මෙම තරගාවලියේ පසුගිය වසරේ බාලක ශූරතාව මරදාන ශාන්ත ජෝසප් විදුහල විසින් දිනාගන්නා ලද අතර බාලිකා ශූරතාව මහනුවර මහමායා විදුහල විසින් දිනාගන්නා ලදි.

තරගාවලියේ සමාප්ති උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් 21 වැනිදා පස්වරු 4.00 ට පැවැත්වේ.  

මෙවරත් නෙස්ලේ සමාගම තරගාවලිය සඳහා අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.