පාසල් බිමෙන් අහුලාගත් බෝලය පන්තියේදී පුපුරලා


(ජේ.ඉඳුරුවගේ)

ඇල්පිටිය , ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා  බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

අද( 15) දහවල් පාසල් විවේක කාලයෙන් පසුව  බෝලයක් වැනි දෙයක්   පන්ති කාමරයක් තුළදී සිසුවෙකු විසින් බිමට ගැසූ අවස්ථාවේ   එය  මහ හඬක් නගමින් පුපුරා ගිය බව පාසල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය පුපුරා ගිය අවස්ථාවේ අසල සිටි සිසුවියක හා සිසුවෙකුගේ පාදවලට සුළු  සීරීම් තුවාලයක්  පමණක්  සිදුව  තිබූ බවද පොලීසිය පැවසීය.

පාසලේ විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව ඇල්පිටිය කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන අංශයේ නිලධාරීන් සමග කරන්දෙනිය පොලීසිය  මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින  බවද සහකාර පොලිස් අධිකාරීවරයා පවසයි.