පාසල් ක්‍රීඩාව හදන්න උපරිමයෙන් අත දෙනවා


(අංජුල මහික වීරරත්න)

පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු මේ වන විට හඳුනාගෙන තිබෙන බව ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

ඒ ගැටලු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්ඡා  කර පාසැල් ක්‍රීඩාව නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මැදිහත්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසුවේ ය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ' ජාතික ගමන් මග' වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

කොළඹ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි. 

මෙහිදී කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්‍රිකට් සපත්තු කට්ටල 9995 ක්, පන්දු විසිකිරීමේ උපකරණ කට්ටල 97 ක්, ක්‍රිකට් පන්දු 2760 ක් බෙදා දීම සිදු කෙරිණි. 

පාසල් මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනැගීම මඟින් ජාතික මට්ටමේ දී සාර්ථක ක්‍රීඩකයින් බිහි කරගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී කීය.