පාසල් අවුලට බේත් නියම කරයි


ගම්පහ   පාසලක සිදුවීයැයි කියන වංචා සහ අවුල් සහගත තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කළ බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයය එම විද්‍යාලයයේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිවරු ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයෙක් එම විද්‍යාලයයෙන් ඉවත් කරන ලෙස නිදේශ කර පළාත් අධ්‍යාපන ලේකම්ට වාර්තා බාර දී ඇත.

පළාත් අධ්‍යාපන ලේකම් ජයන්ති විජයතුංග මහත්මිය පැවසුවේ මේ වන විට ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරීගෙය යන බවයි. හැකි ඉක්මණිනේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඕ පැවසුවාය.

 මේ පාසල ගම්පහ  මිශ්‍ර පාසලක් ලෙස සංවර්ධන කළ යුතු හොඳම පාසල් ලෙස අධ්‍යාපන බලධාරීහු කියති.

පළාත් විශේෂ විමර්ශන ඒකකය සිය විමර්ශනයේදී 28 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහක් කරගෙන ඇත. 2012 උසස් පෙළ සිසුන් ඇතුළත් කර ගැනීමේ ලේඛණය ඇතුළු ලේඛණ කිහිපයක් ද විමර්ශන කන්ඩායට භාරයට ගෙන තිබේ.

චක්‍රලේඛයන්ට පරිබාහිරව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දෙමාපිය සංවිධානයක් පිහිටුවාගෙන මුදල් එකතුකරමින් එම මුදල් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර කර නැතැයි පළාත් විශේෂ විමර්ශන ඒකකය අනාවරණය කරගත් අතර ක්‍රීඩා පුහුණුකරු විදුහල්පති සමග යහපත් සම්බන්ධතාවක් පවත්වා නොගැනීමෙන් අර්බුදයක් ඇති වී ඇති බව ද ආනරවරණය වී ඇත.

2012 වසරේ උසස් පෙළ පන්තිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පහසුකම් හා සේවාගාස්තු වලට අමතරව රුපියල් 1400ක මුදලක් එකතු කරගෙන ඇති අතර ඒ සඳහා රිසිට් පතක් නිකුත් කර නැත. පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් රුපියල් 1400ක මුදලක් අයකරගෙන ඇති අතර ඒ සඳහා නිසි අනුමැතියක් ගත් ලිපි විදුහල්පති විසින් ඉදිරිපත් නොකළ බව ද, අංක 2008/17  දරණ චක්‍ර ලේඛය උල්ලංඝණය කර ඇති බව ද පළාත් අධ්‍යාපන බලධාරීහු කියති.

පසුගිය වසරේ 13 ශ්‍රේණියේ විනෝද චාරිකාවට දෙමාපියන් සහභාගී වී නැති අතර ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් දෙපිරිස එකම බස් රථයක ගමන් ගෙන ඇත. කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විධිමත් අවසරයකින් තොරව මේ චාරිකාව යාම මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ අංක 2/ක්‍රිවිබ/49 හා 1992.06.23 දරණ චක්‍රලේඛය උල්ලංඝණය කර ඇති බව විමර්ශන කණ්ඩායම නිගමනය කරයි.

එමෙන්ම විද්‍යාලයට ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමේදී දෙමාපියනට බලපෑම් කර ඇති බව ද, දෙමාපියන් තම දරුවනට වෙනස්කම් වේයැයි බියෙද් මුදල් පරිත්‍යාග කර ඇති බව ද ආනාවරණය වී ඇත.

මේ අතර ගම්පහ කලාප  අධ්‍යාපන කාර්යාලයේ විෂය අධ්‍යක්ෂවරු සහ ගුරු උපදේශකවරු 44 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එම විද්‍යාලයට ගොස් තවත් විමර්ශනයක් සිදු කර ඇති අතර විදුහල්පතිගේ පරිපාලනය අවිධිමත් බව ද  කුමන හෝ හේතු නිසා නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනා නිසි ලෙස රාජකාරි ඉටු නොකරන බව ද ඔවුන් නිගමනය කර ඇත.

මේ නිසා විද්‍යාලයේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිවරු ද, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයකු ද පාසලෙන් මාරු කරන ලෙස නිර්දේශ කරන විමර්ශන කණ්ඩායම ආදි සිසුන් පාසලේ අභ්‍යන්තර කළමනාකරණයට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා මැදිහත්වීම සිදු කර ඇති හෙයින් අවවාද කර ලිපි යැවීමට ද නිර්දේශ කර තිබේ.