පාරිභෝගික අධිකාරියේ ‘පෙන් ඩ්‍රයිව්‘ ඉගිලුණු හැටි සොයන්නැයි පැමිණිල්ලක්


විල්පත්තු වන විනාශය ගැන කීමට සංවිධානය කළ මාධ්‍ය හමුවක දී පාරිභෝගික සේවා අධිකාරියේ නම සඳහන් පෙන් ඩ්‍රයිව් උපකරණ බෙදා දුන්නැයි කියන සිද්ධිය ගැන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අද (16) කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන්   ඒ ඒ එස් මල්ලිකා නම් නීති නිලධාරිනියක එම පැමිණිල්ල කළ බව පොලිසිය පවසයි.  තම ආයතනයේ නම භාවිත කරමින් පෙන් ඩ්‍රයිව් උපකරණ බෙදා දීමට කිසිවකුට අවසර දී නැතැයි ද , රාජ්‍ය නොවන සංවිධානයක් සංවිධානය කළ මාධ්‍ය හමුවක දී ඒවා බෙදා හැරියේ කෙසේදැයි සොයා බලන ලෙස ද ඇය කළ පැමිණිල්ලේ සඳහන්ය.

විල්පත්තුවේ වන විනාශයට එරෙහිව පරිසර සංවිධානයක් මීට මාසයකට පෙර කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් සඳහා ‘පාරිභෝගික කටයුතු අධිකාරිය‘ යනුවෙන් සඳහන් පෙන් ඩ්‍රයිව් උපකරණයක් බෙදා  දී ඇතැයි වෙනත් පරිසර සංවිධාන චෝදනා කළේය.

‘සුරකිමු ශ්‍රී ලංකා‘ නමින් සංවිධානය කර තිබූ එම මාධ්‍ය හමුවේදී විල්පත්තු වනය කපා ඇති අයුරු දැක්වෙන ඡායාරූප ඇති බව කියමින් මාධ්‍යවේදීන්ට පෙන් ඩ්‍රයිව් උපකරණය බැගින් බෙදා තිබිණි. ‘අපේ ස්වභාවික උරුමය සුරැකීමේ සංවිධානය‘ යනුවෙන් සඳහන් ස්ටිකරයක් එහි අලවා තිබුණු අතර එය ඉවත් කළ විට ‘පාරිභෝගික කටයුතු අධිකාරිය‘ යනුවෙන් ඉංග්‍රීසි බසින් සටහන් කර ඇති අයුරු දැකගන්නට තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා යටතේ ඇති අමාත්‍යංශයකි. විල්පත්තු   කැළය කපන බවට පරිසර සංවිධාන චෝදනා කළේ රිෂාඩ්  බදුර්දීන් ඇමැතිවරයාටය.

 

16780237_1563873870308199_1468495267_n 16780421_1563874113641508_1841962097_n 16787965_1563874046974848_1406605822_n 16788030_1563874203641499_1254652951_n 16790843_1563874000308186_573278982_n