පාර්ලිමේන්තුවේ සිදුවූයේ යයි කියන දූෂණ වංචා විමර්ශන නැවැත්වූ හේතුව විමසයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

පාර්ලිමේවේ සිදුවී ඇති බව කියන දුෂණ සහ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් ආරම්භ කර තිබු පරීක්‍ෂණ කටයුතු නැවැත්වීමට හේතුව කුමක්ද? යන්න තමන්ට දැනුම් දෙන ලෙස එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා කොමිසමෙන් විමසීමක් කොට ඇතැයි වාර්තා වේ.

තොරතුරු දැනගැනීමේ පණත යටතේ රාජ්‍ය ආයතන වල සිදුවන කටයුතු පිළිබඳව කරුණු දැනගැනීමට තමන්ට අයිතියක් ඇති බව පෙන්වා දෙන බරපතල කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා මේ පිළිබඳ තොරතුරු තමන්ට දැනුම්දෙන ලෙස කොමිසමේ ලේකම්  එච්.ඩබ්.ගුණදාස  මහතාගෙන්  ලිඛිතව ඉල්ලීමක් කොට ඇත.

පාර්ලිමෙන්තු ආහාර දෙපාර්තමෙන්තුවේ, ඉංජිනේරු දෙපාර්තමෙන්තුවේ, පාර්ලිමෙන්තුවේ විවිධ මිලදී ගැනීම් වලදී, කාරක සභා කාමර වල ශබ්ද පරිපාලන යන්ත‍්‍ර ස්ථාපිත කිරීමේදී, පාර්ලිමෙන්තුවේ ආරක්‍ෂක පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා විටින් විට සිදුකළ ආයෝජන වලදී, පාර්ලිමේන්තුව ප‍්‍රතිව්‍යුහගතකිරීම සඳහා මුදල් වැය කිරීම් වලදී සිදු වු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳව විටින් විට කොමිසමට පැමිණිලි ලැබුණු බව බරපතල කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා අවධාරණය කොට ඇත.

බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම්වරයා ලෙස තමන් කටයුතු කිරීමේදී මෙම පැමිණිලි ලැබුණු බවත් පාර්ලිමෙන්තුවේ සිදු වු බව කියන දුෂණ සහ වංචා සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමට ඒ අවස්ථාවේදී ජනාධිපති පරීක්‍ෂණ කොමිසම නිවැරදි තීරණයක් ගත් බවද අවධාරණය කරන ලැසිල් ද සිල්වා මහතා තමා කොමිසමේ ලේකම්ධුරයෙන් ඉවත්වු පසුව මෙම පරීක්‍ෂණ කටයුතු නැවැත්වීමට කොමිසමේ විමර්ශණ නිලධාරීන්ට නියම කොට ඇති බව තමන්ට දැනගැනීමට ලැබී ඇතැයිද දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් ආරම්භ කර තිබු පරීක්‍ෂණ කටයුතු නැවැත්වීමට හේතුව කුමක්ද? යන්න තමන්ට දැනුම් දෙන ලෙස කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා කොමිසමෙන් විමසීමක් කොට ඇත.