පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් : රැස්වීම අත්හිටුවයි


මොහාන් පීරිස් අග විනිසුරු සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මිනිත්තු 45 ක ප්‍රකාශයක් කරමින් පසුගිය රජය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අග විනිසුරුකමින් ඉවත් කිරීමටත් මොහාන් පීරිස් එම තනතුරට පත් කිරීමටත් කළ ක්‍රියා මාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යයිද එහෙයින් මොහාන් පීරිස් අග විනිසුරු ලෙස පත් කළැයි පිළිගත නොහැකි බවද කීවේය.

ඔහු පසුගිය ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවත් අග විනිසුරු වැනි කෙනකු එවැනි තැනක සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් අගමැති කීවේය.

එපමණක් නොව රජයට ඕනෑ විදියට නඩු තීන්දු දීමට තමා සූදානම් බව ඔහු කීවේයැයිද එවැනි අග විනිසුරුවරයකු ස්වාධීනත්වයෙන් කටයුතු කළ නොහැකි බව පෙනේ යැයිද කී වික්‍රමසිංහ මහතා අපට ඕනෑ වුණා නම් ඔහු ලවා මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා සිරගෙට යැවීමට වුවත් තීන්දුවක් ගත හැකිව තිබූ බවත් සඳහන් කළේය.

අගමැති මේ ප්‍රකාශය කරද්දී විපක්ෂයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කෑකෝ ගැසූහ.

කථානායක ඉන්පසු සභාව මිනිත්තු 20කට කල් තැබුවේය.