පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව උසාවි යන්න එජාපය සැරසෙයි


තරිඳු ජයවර්ධන
 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති  කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහත්වරු කීහ.
 
තවමත් බහුතරය ඇත්තේ තමන්ට බව ලබව සතියේ යළිත් වරක් පෙන්වන බව ද ඔවුහු පැවසූහ.
 
කබීර් හෂීම් මහතා සහ මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මැදුරේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියේය. එහිදී අහස් දැක්වූ ඔවුහු මෙසේ ද කීහ.
 


මුජිබර් රහුමාන් මහතා -
 
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක කැමැත්තක් නැතිව අවුරුදු හතර හමාරක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයට බලයක් නෑ කියලා අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළා. ජනාධිපතිතුමා නැති බලයක් පාවිච්චි කරලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙනවා.
 
ඔවුන් බහුතරය තියෙනවා කිව්වා. බහුතරය ගන්න මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් සහ මුදල් දුන්නා. අන්තිමට 104ක් දක්වා හදා ගත්තා. ඊයේ උදේ වෙනකොටත් එස්බී දිසානායක මහතා කිව්වා 113 තියෙනවා කියලා. අන්තිමට එයා දන්නෙත් නෑ පාර්ලිමේන්තුව විසුරුවාහැරියා.  ජනාධිපතිවරයා බොරුමයි කියන්නේ. 113 තිබෙනවා කිව්වා. බහුතරය තිබෙනවා කිව්වා.  බහුතරය තිබෙනවා නම් මොකටද පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ? ඔවුන්ට බහුතරයක් නෑ. 113 පෙන්වා ගන්න බැරුව ගියා.
 
මේ හවුල මේ රටට කිසිම හිරිකිතක් නැතුව අමුවේ බොරු කියන, අසත්‍ය ප්‍රකාශ කරන දේශපාලන නායකයන් බවට පත් වෙලා.  කිසිම වගකීමකින් නොවෙයි කතා කරන්නේ. මොකක්ද මේ සදාචාරය.  14 පාර්ලිමේන්තුව කැඳවන්න නියෝග කරලා ඊයේ රෑ වෙද්දි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රටේ පළමු වැනි පුරවැසියා මොනවද මේ කරන්නේ. 
 
මේ රටේ ජනතාව මුලා කරගෙන   මොහොතක්. පාර්ලිමේන්තුව තුල ආණ්ඩු මාරු වුණේ නෑ.  අද මේ රටම අස්ථාවර කරලා තියෙන්නේ. ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් කරලා තියෙන්නේ.  පොළොන්නරුවේ පොඩි විජේ කියලා දාමරිකයෙක් හිටියා කියලා අපි පොඩි කාලේ අහලා තියෙනවා. ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ සින්දුවකුත් තියෙනවා පොළොන්නරුවේ පොඩි විජේ කියලා. ජනාධිපතිතුමත් දැන් පොඩි විජේගේ චරිතය රඟපානවා.  හෙට වන විට තවත් මොනවා කරයිද දන්නේ නෑ.
 

මේක නැවැතුතවේ නැතිනම් මේ රට මුගාබේලා, මාකෝස්ලා, ශාලා හිටපු රටවල් බවට පත් වෙයි. 1931 ඉඳන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පටන් ගත්තු රටක් මේක. එහෙම පාර්ලිමේන්තු ඉතිහාසයක් තියෙන අපේ රටේ ඉතිහාසය ආපස්සට හරවන්න උත්සාහ කරනවා. මේක නවත්වන්න අපි ක්‍රියාමාර්ග කිහිපයක් අරගෙන තියෙනවා. ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කරනවා. 2015 බලවේගය නැවත ඇවිත් තිබෙනවා. එදා ඒ බලවේගය තිබ්බේ මහින්ද රාජපක්ෂට විරුද්ධව. අද සිරිසේන සහ මහින්ද රාජපක්ෂ පිලට විරුද්ධව ඒ බලවේගය හැදිලා තියෙනවා. ‘‘
 


මංගල සමරවීර මහතා-
 
‘‘පසුගිය   26 වැනිදා සිකුරාදා තමන්ගේම රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් කරලා එම රජය නීති විරෝධී ලෙස ඉවත් කරන්න කටයුතු කළ එකම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක ඉතිහාසයට එකතු වුණා. තමන් ගෙනා ව්‍යවස්ථා සංශෝධනය තමන්ම උල්ලංඝණය කළ එකම රාජ්‍ය නායකයා ලෙස ඔහු ඊයේ යලිත් වරක් ඉතිහාසයට එක් වුණා.
 
ජනාධිපතිවරයාට තිබුණු බොහෝ බලතල ඉවත් කරමින් ජනාධිපතිවරයාගේ කැමැත්තෙන්ම අපි එදා 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවා හැරීමට තිබුණු බලය අපි සීමා කළා. පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හතරකුත් මාස හයකට පස්සේ කියා අපි සංශෝධනයට ඇතුළත් කළා. යළිත් මැතිවරණයක් තබන්නට නීත්‍යනුකූලව හැකියාව තියෙන්නේ 2020 පෙබරවාරි මාසයෙන් පස්සේ.කෝටි ප්‍රකෝටි ගණන් දීලා අපේ මන්ත්‍රීවරුන් බිලිබාගන්න බැරි වුණාට පස්සේ ඊයේ රාත්‍රී ව්‍යවස්ථාව උල්ලංඝණය කර මහ මැතිවරණයකට දින නම් කර තිබෙනවා.  
 
 
අපි මැතිවරණයකට බය නෑ. අපි මැතිවරණයකට ඕනෑම වෙලාවක සූදානම්. නමුත් අපි විරුද්ධ වෙන්නේ ව්‍යවස්ථාවට පයින් ගහලා ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට. අපි මේකට ඉඩ දුන්නොත් ඡන්දෙන් පස්සේ අනාගතේ ජනාධිපති කෙනෙකුට කියන්න පුලුවන් මම මේ පත්වෙච්ච අගමැතිගේ මූණට කැමති නෑ, ඒ නිසා යළිත් වතාවක් පාර්ලිමේන්තුව විසිරුවනවා කියලා.  මේවට ඉඩ දුන්නොත් මුගාබෙගෙත් නැති ඒකාධිපතතිත්වයක් බිහි වෙයි.
 
ඇතිවෙමින් තිබෙන ඒකාධිපති වියරුවට එරෙහිව උසාවියේදි අපි සටන් කරනවා. පාර්ලිමේන්තුවෙදිත් සටන් කරනවා. මැතිවරණයෙදිත් සටන් කරනවා.  අපි අනිද්දා මේ සම්බන්ධයෙන් උසාවියට යනවා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තියෙනවා කියලත් අපි පෙන්වන්න සූදානම්. බහුතරයක් තියෙන පාර්ලිමේන්තුවක් තමයි ඒකාධිපති පාලකයා විසිරුවා හැරලා තියෙන්නේ කියලා පෙන්වන්න අපි සූදානම්. ‘‘
 


කබීර් හෂීම්  මහතා -
 
‘‘එජාපය කියන්නේ ඕනෑම මැතිවරණයකට සූදානමින් ඉන්න පක්ෂයක්. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පක්ෂයක්. පහුගි කාලයේ රාජ්‍ය ත්‍රස්තවාදයට ලක්වුණු පක්ෂයක්. රාජ්‍ය ත්‍රස්තවාදයේ බලපෑම් මත ඡන්ද කළ පක්ෂයක්. සාධාරණ මැතිවරණයකට එජාපය ඕනෑම අවස්ථාවක මුහුණ දෙන්න සූදානම්. නමුත් හොර ඡන්ද වලට අපි විරුද්ධයි. නීතියට අපි හිස නමනවා.

 
පහුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් රැසක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබුවා.  ජනතා වරමෙන් අපිව අයින් කරනවා නම් අපි ඊට හිස නමනවා. රාජ්‍ය බලයෙන් එළවන්න හදනවා නම් අපි ඒකට එකඟ නෑ.
 
විශ්වාස භංගයක් පරාජය කරලා විශ්වාසය දිනා ගත්ත අගමැතිවරයා ඉවත් කිරීම නීති විරෝධියි. ඉන් පසු බහුතරයක් නැති හොර අගමැතිවරයෙක් පත් කළා. හොර කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන්න සකස් කලා. මේ එකක්වත් නීත්‍යනුකූල නෑ. මේ කැබිනට් ඇමැතිවරු නීත්‍යනුකූල නෑ.  ජනාධිපතිවරයම එහෙම කරලා කිව්වා බහුතරය තියෙනවා කියලා. ඊයේ වෙනකොට බහුතරය නැති එක පිළිඅරගෙන පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඊයේ හවස් වෙනකම් ඇමැතිවරුන් දිවුරුම් දෙනවා. ඊයේ රෑ විසිරුවනවා. තමන්ට තමන්ගේ ආණ්ඩුව රැකගන්න බෑ කියලා දැනගෙන විසිරුවනවා.  
 
අපේ පක්ෂය මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.  මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස දැනගන්නත් අපි  කැමතියි.  මුලු ලෝකයේම රටේ කීර්ති නාමය හදලා යම් තැනකට ගේනකොට එය නැති කළා. පක්ෂ බේද නොතකා මේ අරගලයට එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ‘‘