පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ජවිපෙත් උසාවි යාමට සූදානම්


(මුදිතා දයානන්ද)
ව්‍යවස්ථා විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට යාමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (10) පැවසීය.

දිසානායක මහතා මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය. එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

ජනාධිපතිවරයා පසුගිය 26 වැනිදා නව අගමැතිවරයෙක් පත්කිරිමේ සිට මේ දක්වා කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධිවයි. නව අගමැතිපත් කිරිම, අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම, ජනමාධ්‍ය අමාත්‍යංශය පවරාගැනීම, නීතිය හා සාමය අමාත්‍යංශ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම, පාර්ලිමේන්තු විසුරුවාහැරීම කියන මේ හැම දෙයක්ම ව්‍යවස්ථා විරෝධීයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එතෙක් විධායක ජනාධිපතිවරයෙක් සතුව තිබූ බොහෝ බලතල ඉවත් වුණා. ඒ අනුව පෙර කී කිසිවක් ඔහුට තමන්ගේ හිතු මනාපෙට කරන්න බැහැ.

දැන් අපිට ප්‍රශ්න කීපයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තව විසුරුවා හැරීම ව්‍යාවස්ථා විරෝධී නිසා එවැනි විසුරුවා හැරීමකින් පසුව පැවැත්වෙන මැතිවරණයත් ව්‍යවස්ථා විරෝධී විය යුතුයි. ඒමැතිවරණයෙන් පත්වන නව පාර්ලිමේන්තුවත් එවිට ව්‍යවස්ථාවිරෝධී විය යුතුයි. එවිට රටට සිදුවන්නේ කුමක්ද? මේ විසුරුවා හැරීම අපි පිළිගන්නේ නම් ඒ අනුව මැතිවරණයට යන්නේ නම් මින් ඉදිරියට රටට ව්‍යවස්ථාවක් වැඩක් තිබේද? බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක්, ඕනෑම ජනාධිපතිවරයෙක් තමන්ට ඕන ඕන හැටියට මෙහි වගන්ති අර්ථ දක්වාගෙන කටයුතු කරන්නට යාමෙන් රටට සිදුවිය හැක්කේ කුමක්ද? මැතිවරණයකදී බහුතරය දිනා ගැනීම ආදී කිසිවක් ඉන්පසු අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගැනීම පමණයි.

ඒ නිසා අපි පළමුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීම වෙනුවෙන් මේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරනවා.