
රට තුළ උද්ගත වී ඇති කෝවිඩ් -19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (06) තීරණය කළේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
හෙට (07) දහවල් නැවත රැස්වී පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට පක්ෂ නායකවරු තීරණය කළහ. කෙසේ නමුත් හෙට (07) සිට දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට එහිදී තීරණය විය.
ඒ අනුව හෙට දිනයේ දී ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම, වරාය හා ගුවන් තොටුපොල සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විවාදයට ගනු ඇත.

