පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්


(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා ලබන ජනවාරි 01දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් ජනාතා රෝෂනී පෙරේරා මහත්මිය අද (20) නියෝග කළාය.

රිමාන්ඞ් භාරයට පත්කෙරුණු මන්ත‍්‍රීවරයා හෙට (21) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට අධිකරණයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ සහභාගි කරවන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

සැකකාර මන්ත‍්‍රීවරයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකුද ලබන පළමුවැනිදා තෙක් රිමාන්ඞ් භාරයේ තැබීමට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

සැකකාර මන්ත‍්‍රීවරයා පසුගිය 16 දින ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප‍්‍රදේශයේ අයුතු ජන රාශියක සාමාජිකයන්ව සිටිමින් තවත් පිරිසක් සමඟ පුද්ගලයෙකුට පහර දී ඇති බවට බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මන්ත‍්‍රීවරයා ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ගොඩකවෙල පොලීසිය මගින් සැකකරුවන් අද අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ පොලීසිය පැවසුවේ සිද්ධියේ දි තුවාල ලැබූ තැනැත්තා පොලිසියට කළ ප‍්‍රකාශයකින් සැකකාර මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් පහරදුන් බව ප‍්‍රකාශ කර ඇතැයි දැන්වීය.

සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන අවසන් නැති බවත් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් සැකකරුවන් ඇප මත මුදාහැරිය හොත් ඉදිරි පරීක්‍ෂණ වලට සහ ප‍්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට ගැටලු ඇතිවේ යැයි ද පොලීසිය පැවසීය. ඒ නිසා සැකකරුවන් ඇප මත මුදා හැරීමට පොලිසිය විරුද්ධ බව ද පැවසීය.