පාර්ලිමේන්තු අනුරුව පළාත් සභාවලටත් ගේන්නැයි සබරගමුවෙන් යෝජනාවක්


දහතුන් වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව සශෝධනය කර එහි අඩංගුව නැති තනතුරු කිහිපයක් ස්ථාපිත කරන ලෙසත් තිබෙන තනතුරු කිහිපයක නිල නාමයන් වෙනස් කරන ලෙසත් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් සබරගමු පළාත් සභාව ඒකමතිකව සම්මත කළේය.

පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පළාත් සභා රැස්වීමේ දී පෞද්ගලික මන්ත‍්‍රීවරුන්ගේ කටයුතු යටතේ සභානායක පළාත් සභා මන්ත‍්‍රී අසෝක ජයවර්ධන මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

දහතුන් වන ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ 1987 අංක 41 දරණ පළාත් සභා පනතේ සඳහන් නොවන නමුත්  පළාත් සභාවන් හි කාර්යයන් ඉටු කිරිම වර්තමානය වනවිට අත්‍යවශ්‍යව ඇති පළාත් සභා විපක්‍ෂනායක, පළාත් සභා සභානායක, ආණ්ඩු පක්‍ෂ සංවිධායක සහ විපක්‍ෂ සංවිධායක යන තනතුරු අනුමත නීත්‍යානුකූල තනතුරු බවට පත්කරන ලෙසත් පළාත් සභා සභාපති යන නාමය පළාත් කතානායක ලෙස හා නියෝජ්‍ය සභාපති යන නාමය ‘පළාත් නියෝජ්‍ය කතානායක’ ලෙස සංශෝධනය කරන ලෙසත්, ඒ අනුව පළාත් සභා පනත සංශෝධනය කරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින ලෙස සභාවට යෝජනා කැරිණි.