පාප්තුමාගේ ගැටිත්ත පිළිකාවක් යැයි බියක්


ශුද්ධෝත්තම, 16 වැනි ලියෝ පාප්තුමන්ගේ දකුණු පෙණහල්ලේ තිබූ කුඩා ගැටිත්ත, ඉවත් කළ බවත්, එම සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිවේදනය කළේය.

පාප්තුමාට එම සැත්කම සිදු කෙරුණේ, රෝමයේ ජෙමෙලි රෝහලේදීය. කුඩා ගැටිත්ත හටගෙන තිබුණේ දකුණු පෙනහල්ලේ පහළය. ඒ බව අනාවරණය වූයේ පසුගිය දා පාප්තුමා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුණු අවස්ථාවේදීය.

පාප්තුමා සැත්කමකට ලක් කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වූ අතර, පාප්තුමා ඒ බව අනාවරණය කළේ පසුගිය ඉරිදා දිනයේය. ඒ අනුව, ජෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණි.

සැත්කම සිදු කළ වෛද්‍ය ලුයිගි කාබෝන් සහ නිර්වින්දන විශේෂඥයකු වන මහාචාර්ය ස්ටෙෆානෝ මාර්ගරිටෝරා උපුටා දක්වමින්, වතිකානය නිවේදනය කළේ, පාප්තුමාගේ දකුණු පෙණහැල්ලේ ගැටිත්ත සාර්ථකව ඉවත් කිරීමට හැකි වුණු බවත්, සැත්කමේ දී ඉවත් කළ එම ගැටිත්තේ පටක වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ බවත්ය.

එසේ වුවත් මූලික පරීක්ෂණ අනුව, එම ගැටිත්ත, පෙනහළු ඇඩිනොකාර්සිනෝමා නමැති පිළිකා තත්ත්වයක් යැයි තමන් සැක කරන බවත් වෛද්‍යවරුන් අවධාරණය කර ඇත.

සැත්කම සඳහා පැය තුනක කාලයක් ගත වී ඇති අතර, සැත්කම සාර්ථකව අවසන් වී ඇත්තේ කිසිදු සංකූලතාවකින් තොරව යැයි ද පැවැසෙයි. සැත්කමින් පසු සාමාන්‍ය තත්ත්වයට පත් වූ පාප්තුමා තව  දින කීපයක් රෝහලේ රැඳී සිටිනු ඇති බව පැවැසෙයි.