පාපන්දු සභාපති රංජිත් ලෝකෙට ලොක්කා හමුවෙයි


ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති රංජිත් රුද්‍රිගු මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර්ජාතික පාපන්දු සම්මේලන මූලස්ථානයේදී එහි සභාපති ජෝශප් බ්ලැටර් මහතා අනිද්දා (23) මුණගැසීමට නියමිතය.

රුද්‍රිගු මහතා ජිනීවා නුවර බලා ඊයේ රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේය.
ශී‍්‍ර ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව නැංවීමේ අලූත් සැලසුම් පිළිබඳව එහිදී බ්ලැටර් මහතා සමඟ සාකච්ඡ කරන බව රුද්‍රිගු මහතා ලංකාදීපයට පැවසීය. ශී‍්‍ර ලංකාව හා බ්ලැටර් මහතා අතර හොඳහිත වර්ධනය කරගැනීමත් තමාගේ මෙම චාරිකාවේ එක් අරමුණක් බවද ඔහු පැවසීය.

ලෝක පාපන්දු සමුළුවේ සභාපතිවරයා මෙම වසරේ මුල්භාගයේදී ශී‍්‍ර ලංකාවේ චාරිකාවකට සහභාගී වන බව ප‍්‍රකාශ වුවත් පසුව වාර්තා වූයේ ඔහු එය අත්හිටවූ බවයි.
ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර අනුග‍්‍රාහකයෙකු සොයාගැනීමේ හැකියාව පිළිබඳවත් වෘත්තීය මට්ටමේ ලීග් පාපන්දු තරගාවලියක් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට ඇති හැකියාව ගැනත් බ්ලැටර් මහතා සමග තමන් සාකච්ඡ කරන බවත් රුද්‍රිගු මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු එහිදී පැවසුවේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන ෆුට්සාල් පාපන්දු තරගාවලිය පිළිබඳවත් බ්ලැටර් මහතා දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

බ්ලැටර් මහතා වසර 2001දී අවසන් වරට ශී‍්‍ර ලංකාවට පැමිණි අතර ඒ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආධාරයෙන් ඉදිවූ ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානය විවෘත කිරීම සඳහාය.