පාපන්දු ලීග් නිලවරණ සම්මේලනයේ අනුමැතියෙන් පමණයි


පාපන්දු ලීග නිලවරණ මින් ඉදිරියට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අනුමැතියෙන් පමණක් පැවැත්වීමට අවසර දෙන බව එම සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

පාපන්දු ලීග ලෙස ක‍්‍රියාත්මක වන දිස්ත‍්‍රික් හා අනුබද්ධ සංගම් 44 ක් දැනට ක‍්‍රියාත්මක වන අතර නිලවරණ පැවැත්වීමේදී ආරවුල් ඇතිවීම වැළැක්වීම සඳහා පාපන්දු සම්මේලනයේ අවසරය ඇතිව පමණක් නිලවරණ පැවැත්වීමට දෙන බවත් රංජිත් රුද්‍රිගු මහතා පැවසීය.

මින් ඉදිරියට පාපන්දු ලීග නිලවරණ පාපන්දු සම්මේලන නියෝජිතයන්ගේ අධීක්‍ෂණයෙන් පැවැත්වේ.

මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණය පැවැත්වීමේදී අර්බුදයක් ඇතිවූයේ යැයි ප‍්‍රකාශ වුවද එම නිලවරණය පාපන්දු සම්මේලනයේ නියෝජිත පිරිසකගේ අධීක්ෂණය ඇතිව, ඉතා සාර්ථකව පවත්වා අවසන් කළ බවද රුද්‍රිගු මහතා ලංකාදීපයට පැවසීය.

මන්නාරම පාපන්දු ලීගයේ නිලවරණයේදී දෙපාර්ශවයක් නාම යෝජනා බාරදී තිබුණු අතර එහි හිටපු සභාපති ඇන්ටන් පිනරාඩෝ මහතා නිලවරණය අවස්ථාවේදී නාමයෝජනා ඉවත්කර ගැනීමෙන් සභාපති තනතුර සඳහා හිටපු ලේකම් ඇනින් කනගේෂවරන් මහතා නිතරගයෙන් පත්විය.

පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා ඇතුළු එහි ඉහළ පෙලේ නිලධාරීහු පිරිසක් නිලවරණය අධීක්ෂණය කිරීමේ කටයුතු සඳහා සහභාගි වූහ.