පානදුර පිහිනුම් වැඩමුළුවේදී එකතු කළ සල්ලි පිල්ලි ගියාද


ඉන්දීය ජාතික පිහිනුම් උපදේශකයකුගේ සහභාගිත්වයෙන් පානදුර ජල ක‍්‍රීඩා සමාජ පිහිනුම් තාටාකයේදී පසුගිය 7 වැනිදා පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා පැවැති පිහිනුම් පුහුණු වැඩසටහනේදී සංවිධාකයන් විශාල මුදලක් එකතු කර ඇති බවට වාර්තා වේ.

පානදුර ප‍්‍රදේශයේ පාසල්වල දක්‍ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මේ අවස්ථාවට සහභාගි වීම සඳහා ආරාධනා කර නොමැති බවටත් සංවිධායකයන්ගේ හිතවත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පමණක් එම පුහුණු වැඩසටහනට සහභාගි වීමේ අවස්ථාව දුන් බවටත් දෙමව්පියෝ චෝදනා කරති.

මෙම පුහුණු වැඩසටහනේ ප‍්‍රධාන සංවිධායකයන් ලෙස පානදුර ප‍්‍රදේශයේ ප‍්‍රධානතම බාලිකා පාසලක ගුරුතුමියක් සහ පානදුර ජල ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරුවකු කටයුතු කළ බව ද වාර්තා වේ. වැඩසටහනට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 52 ක් පමණ සහභාගි වී ඇති බවත් එක් අයකුගෙන් රුපියල් 750 ක පමණ මුදලක් ලබාගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙය සංවිධානය කළේ යැයි කියන පානදුර ප‍්‍රදේශයේ ප‍්‍රධානතම බාලිකා පාසලක ගුරුවරියගෙන් මුදල් එකතු කිරීමේ චෝදනා පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මුදල් එකතු කළේ දෙමව්පියන් බවයි. කෙසේ වෙතත් එම  ගුරුතුමියගේ පාසලෙන් පමණක් ඇයට හිතවත් ක‍්‍රීඩිකාවන් 12 ක් පමණ මෙයට සහභාගි වී ඇති බව තතු දන්නෝ පවසති.

මෙම වැඩසටහනට සම්බන්ධ වූ පානදුර ජල ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරුවකු යැයි කියන නිලධාරියාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙය පාසල්වලට සම්බන්ධ එකක් නොවන බවත් පානදුර ජල ක‍්‍රීඩා සමාජයෙන් සංවිධානය කළ බවත්ය.

මෙම ඉන්දීය පුහුණුකරුගේ සහභාගිත්වයෙන් ගම්පහ සහ හොරණ ද වැඩසටහන් පවත්වා ඇති නමුත් හොරණ වැඩසටහනේදී කිසිදු මුදලක් ඇය නොකළ බවත් හොරණ අධ්‍යාපනය කළාපයේ පාසල්වලට ලිඛිතව දන්වා දරුවන් තෝරාගත් බවත් වාර්තාවේ.

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ මෙම පුහුණු වැඩසටහනට පාසල් දරුවන්, පාසල පැවැත්වෙන දිනයක, අවසරයකින් තොරව සහභාගි කරවා ඇති බවයි. මෙම වැඩසටහන පිළිබඳව තම පාසල දැනුවත් කර නොතිබීම දැඩි අසාධාරණයක් බවද තවත් පිහිනුම් පුුහුණුකරුවෙක් පැවසීය.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී පානදුර ජල ක‍්‍රීඩා සමාජයේ ලේකම් උපේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එම පුහුණු වැඩසටහනට පානදුර ජල ක‍්‍රීඩා සමාජයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් එහිදී මුදල් එකතු කිරීමක් පිළිබඳව තමන්ට ද දැනගන්නට තිබෙන බවත්ය.

‘‘අපේ පිහිනුම් තටාකයේ පුහුණුකරුවෙක් ඒ සඳහා තටාකය ලබාදෙන ඉල්ලා සිටියා. පොඩි දරුවන්ගේ වැඩක් නිසා දුන්නා. අපිට කිසි ගෙවීමක් කළේත් නෑ”

”මේ වැඩසටහනට අපේ සම්බන්ධයක් ඇති බව කියනවා නම් ඒක මුසාවක්’’ යැයිද ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.