(නාලක සංජීව දහනායක)
පාතාලය විසින් සිදුකරන මනුෂ්‍ය ඝාතන නතර කිරීම සඳහා රජය කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බව අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (27) පැවසීය.
පාතාල ක‍්‍රියාකාරකම් නිසා රටේ හෙට දවස සම්බන්ධයෙන් දැඩි අවදානම් තත්ත්වයක් මතුව තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
‘‘පාතාල ක‍්‍රියාකාරකම් නිසා දවස ගානේ මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා. පාතාලය විසින් රජය හා සමාජය අනියම් ආකාරයෙන් පාලනය කර බවක් පෙනෙන්නට තිබෙනවා.
මේ ක‍්‍රියාකාරකම් නතරකරන්න රජය කිසිම උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ඝාතනය කිරීම දක්වාම අද පාතාලය බලවත් වෙලා. මේ නිසා රටේ හෙට දවස සම්බන්ධයෙන් දැඩි අවධානම් බවක් නිර්මාණය වී තිබෙනවා.
රාජ්‍ය නායකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් භයානක කුමන්ත‍්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙලත් පොලිසිය තවම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. මෙම ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පොලිසිය සැහැල්ලූවෙන් ක‍්‍රියාකිරීම ගැන අපිට සැකයි.
මේ සැහැල්ලූ හැසිරීම පොලිස්පතිවරයාත්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත් මේ ඝාතනයට සම්බන්ධ නිසාද? මේ නිසා පොලිසිය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය දවසින් දවස බිඳ වැටෙනවා. ඝාතන කුමන්ත‍්‍රණය හෙළිකිරීමත් සමඟම විදේශයකින් තමන්ට මනිග‍්‍රෑම් හරහා මුදල් ලැබුණ බව නාමල් කුමාර අණාවරණය කර තිබෙනවා.
ඒ අනුව මෙය දේශීය පමණක් නොව ජාත්‍යන්තර වශයෙනුත් ක‍්‍රියාත්මකවන කුමන්ත‍්‍රණයක් බව දැන් පැහැදිලියි. තමන්ට අවාසිදායක දේවල් සිදුවන විට රජය ඉතාම නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙනුත් රජය අනුගමනය කරන්නේ නිහඬ ප‍්‍රතිපත්තියමයි.‘‘
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාශ්‍රම විහාරයේදී අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

