පාකිස්තානයෙන් දුන් ආහාර තොගයක් ගංගාරාමයට


(ගයාන් සූරියආරච්චි)

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාවට බෙදාදීම සදහා පාකිස්ථාන රජයෙන් ලබාදුන් වියලි සලාක තොගයක් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල්   ෆාහිස් අල් අසීස් මහතා විසින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන්ට සංඛේතාත්මකව ප්‍රදානය කිරීම අද (2) එම  විහාරස්ථානයේදී සිදුකෙරිණි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කරලීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකෙරිණි.

එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් කියා සිටියේ පසුගිය දිනවල ඇතිවූ ගංවතුර සහ සුළිසුළං තත්ත්වය මත ආපදාවට ලක් වූ ජනතාව බේරාගැනීමට නිරතුරුවම සහයෝගය දක්වන රටවන වන පාකිස්ථානය ක්ෂණිකව ක්‍රියාවෙන් උදවු උපකාර කළ බවය.

ලංකාවට අවශ්‍ය වියලි සලාක ඇතුළු ආහාර ද්‍රව්‍ය මේවන විට ප්‍රදානය කළ ද ඉදිරියේදී ආපදාවට ලක්වූවන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ප්‍රදාන කිරීමට ද පාකිස්තානය කටයුතු කරමින් සිටින  බවද ආචාර්ය අස්සජී නාහිමියෝ කීහ.

විපතට පත්වූ ජනතාවට බෙදාදීම සදහා වියලි සලාක ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන රජයට ස්තූතිය පළකරන අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට මෙවැනි කටයුතු ඉවහල්වන බව විශ්වාස කරන බවත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති හිමියෝ පැවැසූහ.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් ෆාහිස්ඩ් අල් අසීස් මහතා කියා සිටියේ මීට මාස කීපයකට පෙර පාකිස්ථානය මෙවැනි ස්වාභාවික විපත් හේතුවෙන් අත්දැකීම් ලැබූ බවත් ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත් සිදුව ඇති ආපදාව ඉතා ඉහළ බවය.

ශ්‍රී ලංකාවට සිදුවූ මෙම විපත දුටු පාකිස්ථාන අගමැතිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ සහන ලබාදීමට උපදෙස් ලබාදුන් බවද මහකොමසාරිස්වරයා කීය.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් ෆහිස් අල් අසීස් මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන්ට සංඛේතාත්මකව වියලි සලාක මල්ලක් ප්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම්වරයා ද මෙහි වෙයි.

(ඡායාරූප: ඉසුරු පෙරේරා)