පාකිස්තානයෙන් කුළියට ගත් ගුවන් යානය ආපසු බාරදෙයි


(බිඟුන් මේනක ගමගේ)

පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කල් බදු ක්‍රමය යටතේ කුලියට ගනු ලැබූ ඒ 330 ගුවන් යානාව නැවත මෙරටට බාර දී ඇත.

වෙට් ලීස් කල්බදු ක්‍රමය යටතේ සිදු වූ මෙම  ගුවන් යානා සැපයුමේදී දූෂණයක් සිදුව ඇති බවටත් ඊට අදාළ පරීක්ෂණ රාජ්‍ය මට්ටමින් සිදුවන බවටත් මේ වනවිට පාකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් “ලංකාදීප” කළ විමසීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරී දීපාල් පෙරේරා මහතා පැවැසුවේ මාස හයක ගිවිසුම් කාලය අවසන් වීම නිසා ඒ 330 ගුවන් යානාව නැවත සිය සමාගමට බාර දුන් බව සත්‍ය නමුත් පාකිස්තානු මාධ්‍ය වාර්තා කරන සෙසු කරුණු ප්‍රතික්ෂේප කරන බවයි.

වෙළෙඳපොල මිල ගණන් මත සිදු වූ ගිවිසුම් අස්සන් කිරීමේදී කිසිදු දූෂණයක් සිදුව නැති බව පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් ගිලානි මහතා එරට මාධ්‍යට පවසා ඇත. 

මේ අතර පසුගිය වසරේ අගෝස්තුවේ සිට එළැඹුණු මාස හයක ගිවිසුම් කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 19 කට අධික මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කුලී ගාස්තු හැටියට ගෙවීමට පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගම කටයුතු කර ඇති බව පැවැසේ.