ප්‍රසන්න රණතුංගට රට යන්න අවසර


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24 ක් එම ඉඩමින් ඉවත් කර එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අවසර දුන්නාය.


ස්විසර්ලන්තයට හා  ඕස්ටේ‍්‍රලියාවට යෑමට අවසර දෙන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මේරී ඩික්මන් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් විනිසුරුවරිය විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබු නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දීමට අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කළාය.


2015 අපේ‍්‍රල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක‍්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්‍දු නොට්ටු පහක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම  ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්‍දු නෝට්ටු ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.


මෙලෙස චෝදනා ලැබ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන්  ස්ටේලා රණතුංග මහත්මිය සහ ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තෙකි.