ප්‍රසන්න මිණිපුර රැළියට මහ පිරිස් රැස්කරයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙස බලකරමින් අද රත්නපුරයේ පැවැත්වෙන  තුන්වන ජනරැළියට බස්නාහිර පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් 190 ක්  සමග   සහභාගී වන බව  බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද අළුයම කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවසුවේය.

රාජකාරී කටයුත්තක් සඳහා විදෙස්ගත වී සිට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ මෙරටට පැමිණියේ   හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  අගමැති අපේක්ෂකයා ලෙස  පත් කරන ලෙස බලකරමින් රත්නපුරයේ පැවැත්වෙන  තුන්වන ජනරැළියට සහභාගී වීමේ අරමුණිනි. බස්නාහිර පළාත් සභා සහ පළාත් පාලන  ආයතන මන්ත්‍රීවරුන් 190 ක්  සමග එම රැළියට  සහභාගී වීම ඔහුගේ අරමුණ විය.

ඔහුට සහය පල කිරීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන්,  ප්‍රාදේශීය සභා සහ  නගර සභා නියෝජිතයෝ රැසක්  සමග දහසකට ආසන්න ජනතාවක්  ඊයේ මධ්‍යම රාත්‍රියේ  සිට ගුවන්තොටුපලට  පැමිණ  ප්‍රභූ පර්යන්තය ඉදිරිපිට රැදී සිටියහ.

ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපල ප්‍රභූ  පර්යන්තයේදී   විශේෂ ප්‍රකාශයක්  නිකුත් කරන බව පවසා  මාධ්‍ය කැඳවා තිබු  මුත් මාධ්‍යවේදීන්ට පභූ  පර්යන්තය තහනම් විය.
ඔහුට සෙත් පිරිත් සජ්ඡායනා  කිරීම  සඳහා පැමිණි ස්වාමීන් වහන්සේලා  සහ ඔහු පිළිගැනීම සඳහා පැමිණි අමාත්‍යංශ නිලධාරීන්ටද ප්‍රභූ  පර්යන්තය  තහනම් වීම නිසා තරමක උනුසුම් කාරී තත්වයක් මතුවිය. 

මහ පිරිසක් ප්‍රභූ පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන දොරටුව ඉදිරිපස ප්‍රධාන අමාත්‍යවරයා එනතුරු රැකවල්ලා සිටි අතර ප්‍රභූ පර්යන්තයට ඇතුළුවන සහ පිටවන වාහන ගමනා ගමනයටද අවහිර  විය.

පිිරිස පාලනය කර ගැනීම සඳහා  පොලිස් නිලධාරීන් සහ ගුවන්තොටුපල ආරක්ෂක භටයෝද ඇතුලූ වීමේ දොරටුව  ඉදිරිපිට සහ තැන ස්ථාන ගත කර සිටි අයුරු  දක්නට ලැබිණි.

ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර කුමාර මහතා පැවසුවේ මහා සංඝරත්නයටද, මාධ්‍ය වේදීන්ටද, පිළිගැනීමට සඳහා සීමිත පිරිසකට ප්‍රභූ  පර්යන්තයට ඇතුළු වීම සඳහා පෙර දින තමන් ලිඛිතව අවසර ඉල්ලු බවත් ඒ අනුව ඊයේ උදෑසන විට අවසර ලබා දුන් මුත් ඉහළින් ආ නියෝගයක් අනුව අවසන් මොහොතේ අනුමැතිය අවලංගු කර  ඇති බවයි.

වෙනදාට අමාත්‍යවරයාගේ රථය ඇතුළු ආරක්ෂක රථ දෙකටද (බැක් අප් රථ),   ඔහුගේ ආරක්ෂක භටයන්ට ඇතුළු පස් දෙනෙකුට හො දස දෙනෙකුට ප්‍රභූ පර්යන්තයට ඇතුළු වීමට අවසර දෙනු ලැබුවත් ඊයේ අවසර ලැබුනේ එක් රථයකට පමණක් බවද ඔහු කීවේය.

කෙසේ උවද අළුයම 1.54 ට පමණ ප්‍රසන්න රණතුංග මහතා සාමාන්‍ය මගීන්ගේ පැමිණීමේ පර්යන්තය ඔස්සේ  ගුවන්තොටුපළෙන් පිටතට පැමිණියේය.  එහි වැඩම කර සිටි මහා සංඝ රත්නය   ඔහුට ආශිර්වාද කළහ.  අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා  මාධ්‍ය ඇමතු අතර එම අවස්ථාව ඔහුට සහය ඵලකිරීමට සහ ඔහු පිළිගැනීමට පැමිණි පිරිස්  ඉතා උද්යෝගයෙන්  ඉහළ ප්‍රථීචාර දැක්වුහ.

ප්‍රධාන අමාත්‍යවරයාට සාමාන්‍ය මගීන්ගේ පර්යන්තය ඔස්සේ පැමිණීමට සිදුවීම පිළිබඳව ඔවුහු සිය අප්‍රසාදය පල කළහ.

මාධ්‍ය ඇමතූ ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ පැවසුවේය

‘‘ජාතික ආණ්ඩුවක් කියන්නේ රටක අර්බුදකාරී තත්වයක් ඇති විට සියළු දෙනා එකතු වී ඒ අර්බුද යෙන් ගොඩ එන්න කරන  දෙයක්. අපේ රටේ යුද්ධ කාලෙදි උනත් ජාතික ආණ්ඩු පිහිටෙව්වේ  නැහැ.  අද වෙලා  තියෙන්නේ ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය රටට තියනවද කියන ගැටලූවයි.

මේ  රටේ සියළු දේශපාලන පක්ෂ එකතු වෙලා ජාතක ආන්ඩුවක් හදන එක  හොඳයි. පහුගිය ජනාධිපතිවරණ කාලෙදි ජනාධිපතිතුමාට සහයෝගය දුන්න  දේශපාලන පක්ෂ පවා මේ  ක්‍රමය විවේචනය කරනවා මම දැක්කා.

මෙතන තියෙන්නේ දේශපාලන පක්ෂ දෙක තුනක් විතරයි. ඒ නිසා මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි  සභාග ආණ්ඩුවක්. මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මත මේ එකතු  වීම   සිදු උනත් අපේ මොන මොන මති මතාන්තර තිබුනත් ඒ කටයුතු කරගෙන යනවා. ජනතාව තීන්දු කරාවි මෙය රටට අවශ්‍යද, නැද්ද කියා. ජනතාව ඉන්න තැන මේ වැඩපිළිවෙල සාර්ථකයි. ජනතාව නැති තැන එය අසාර්ථකයි.
 

අපිට ඡන්දය දෙන්නේ ඡන්ද දායකයෝ. ඡන්ද දායකයාගේ අවශ්‍යතාවය අනුව  කටයුතු කරන්නයි අපි ආයතන නියෝජිතයෝ හැටියට ඉන්නේ. ඡන්ද දායකයා අකමැති දේවල් අපි කරන්න, කියන්න ගියොත් ඊලග මැතිවරණයේදී ඒ කරන කියන අයට ජනතාව කුමක්ද කළ යුත්තේ කියා තීන්දු කරයි.

පහුගිය මැතිවරණයෙන් පස්සේ මම ප්‍රධාන අමාත්‍ය දුරයේ ඉදගෙන තමයි මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා කළ යුතුයි කියන මේ වැඩ පිලිවෙලට ආවේ. අපි ආව් තනතුරු අත ඇරලා. සමහර අය තනතුරු රැකගන්න, තනතුරු ආපසු ගන්න යම් යම් කටයුතු කරනවා. නමුත් පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝ තනතුරුවලට වඩා තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවා.

මම රාජකාරී කටයුත්තක් සඳහායි විදේශ ගත උනේ. ඒත් සමහර අය විවිධ මත පල කළා විතරක් නෙමෙයි කාටුන් පවා ඇන්දා. සමහරු පහුගිය කාලේ ඇති උන දේශපාලන වාතාවරණය තුළ අපි පළාත් සභාවේ නායකත්වය තුළ  මේ  කටයුතු කරනවා කියා කිවා.

නමුත් දැන් පිළිඅරගෙන තියෙනවා අපි හිටියත් නැතත් පළාත් සභා මන්ත්‍රීවරු  සභාපතිවරු නැවත වතාවක් මහින්ද රාජපක්ෂව  අගමැති අපෙක්ෂකයා කළ යුතුයි කියන මතයේ සිටින බව. ඒකෙන්ම පේනවා මේකට නායකත්වය දෙන්න කව්රුත් අවශ්‍ය නැහැ  ඒ නායකත්වය ගම් මට්ටමින් අරගෙන තියෙනවා කියා. ඒක තමයි මම දැක්ක වෙනස.
නුවර තිබුන රැස්වීම මම මග ඇරියා කියා සමහර ඇමතිවරු දෝෂාරෝපනය කර තිබුනා. ඒවායින් මම සැලෙන්නේ නැහැ නමුත් ජනතාවගේ බලාපොරොත්තුව, ජනතාවගේ අවශ්‍යතාවය ඉටුකරන්න අපි කැප වී සිටිනවා.‘‘

මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයාට සාමාන්‍ය මගීන්ගේ පර්යන්තය ඔස්සේ පිටතට ඒමට සිදුවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණයක් නැගීය.
 මාධ්‍යවේදියා - ‘‘ඔබතුමාගේ මාධ්‍ය ඒකකයෙන් මාධ්‍යවේදීන්ට ආරාධනා කළා ඔබ ප්‍රභූ පර්යන්තයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිතුත් කරනවා කියා. ඒ අනුව අපිත්,  ඔබට ආශිර්වාද කරන්න මහ සංඝරත්යත් මෙතනට ආවා. ඒත් ප්‍රභූ පර්යන්තයටවත් සාමාන්‍ය මගීන්ගේ පර්යන්තයටවත් මාධ්‍යවේදීන්ට යන්න අවසර දුන්නේ නැහැ. මහා සංඝරත්නයවත්, ඔබ පිළිගැනීමට කිසිවෙකුටවත් ප්‍රභූ පර්යන්තයට යන්න අවසර දුන්නේ නැහැ.  ඇයි එහෙම උනේ ? ‘‘

ප්‍රධාන අමාත්‍යවරයා -  ‘‘ ගුවන්තොටුපලේ ඛෙහෝ දෙනෙක් ඉන්නවා මගේ පියා රැකියාවලට දාපු අය. ඒ අය සියලූ දෙනා පහසුකම් දීලා  සාමාන්‍ය පුරවැසියෙක් වගේ මාව එව්වා. ඒක ගොඩක් හොඳයි මටත් සාමාන්‍ය විදිහට එන්න ලැබුනා.

මෙතන යම් යම් ප්‍රශ්ණ තියෙනවා. අපි දේශපාලනමය වශයෙන් කටයුතු කරන විදිහ සමහර අයට හොඳ නැතුව ඇති. ඒ අයට කරන්න පුලූවන් දේ ඒ අය කළා. ඕවා කළැයි  කියා අපේ ගමන නවතින්නේ නැහැ‘‘

 

 

9 10 71 3 5 6