ප්‍රතිචක්‍රිකරණය මගින් සම්පතක් කරගත හැකි කසළ අපට විපතක් වෙලා - ජවිපෙ


(විනීතා එම් ගමගේ)

ලොව බොහෝ රටවල් ප‍්‍රතිචක‍්‍රීකරණ කි‍්‍රියාවලියක් මඟින් සම්පතක් කර ගන්නා කසළ ශ්‍රී ලංකාවට විපතක්  වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි. 

මෙසේ අපේ රටට කසළ විපතක් වී ඇත්තේ එය කළමණාකරණය කර ගන්නටවත් අපේ රටේ  පාලකයන් අසමත් වීම නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 එහි මෙසේද සඳහන් වෙයි.

“සැබැවින්ම මෙය ස්වභාවික විපතක් නොවේ. සැලැස්මක් නැති පාලනයක් විසින් වගකිවයුතු විපතකි. මීට පෙර අපේ රටේ නාය යෑම්වලට ලක් වූයේ කඳුකරයේ කඳුය. දැන් කුණු කඳු නාය යෑමට පටන් ගෙන තිබේ. නාය යන තරමේ කුණු කඳු ගොඩ ගසන අතර ඒවා කඩා වැටෙන්නේ ජීවත් වීමට තැනක් නොමැතිකම නිසා ඒ අවට ජීවත් වෙන අසරණ ජනතාවගේ හිස මතටය.   

මීතොටමුල්ලේ කුණු කන්ද ගොඩ ගැසීමට එරෙහිව පසුගිය කාලයේ එහි ජනතාවත් පරිසරවේදීනුත් විවිධ උද්ඝෝෂණ කළා. දැනුවත් කිරීම් කළා. එහෙත් ඒවාට බලධාරීන් කන් දුන්නේ නැත. කුණු ගොඩගැසීම නැවැත්වීමට හෝ ඒ අසල පදිංචි වී සිටින ජනයා  වෙනත් සුදුසු ස්ථානයක පදිංචි කිරීමට හෝ බලධාරීන් කටයුතු කළේ නැහැ. එම වරදට දැන් ජීවිතවලින් වන්දි ගෙවා ඇත්තේ අසරණ ජනතාවයි. ආණ්ඩුවටත් මීට අදාළ බලධාරීන්ටත් මෙහි වගකීමෙන් මිදිය නොහැක්කේ ඒ නිසාය. 

මෙම විපතින් මියගිය, තුවාල ලැබූ හා නිවාස අහිමි වීමෙන් විපතට පත්වූ සියලූ පවුල් සඳහා ප‍්‍රමාණවත් වන්දි මුදලක් වහාම ලබා දෙන ලෙසද මීතොටමුල්ලේ කුණු කන්ද අවට පදිංචි වී සිටින අයගේ ගැටලූ වහා විසඳන ලෙසද නැවත මෙවන් විපත් නොවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසද අපි ආණ්ඩුවටත් මීට අදාළ සියළු බලධාරීන්ටත් බලකර සිටිමු.“