පළාත් තුනක සායනික අපද්‍රව්‍ය ඉවත්කිරීම නවතී


විනීතා එම් ගමගේ

 

මධ්‍යම, බස්නාහිර හා දකුණ පළාත්වල රෝහල්වල සායනික අපද්‍රව්‍ය රෝහල් තුළම ගොඩ ගැසෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පළාත් තුනෙහි දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ 8000 කට ආසන්න ප‍්‍රමාණයක් එක්වන බව ද එම ආරංචි මාර්ග පවසයි.

ජාතික රෝහලේ පමණක් දිනකට කිලෝ ග්‍රෑම් 2000 කට ආසන්න ප‍්‍රමාණයක් සායනික අපද්‍රව්‍ය එකතු වන බව එම රෝහලේ ප‍්‍රකාශකයෙක්  පැවැසීය.

මේ වනවිට සතියකට ආසන්න කාලයක් තිස්සේ මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමකින් තොරව ගොඩ ගැසෙන බවත් එම අපද්‍රව්‍ය ඉවත් කළ සමාගම එකී අපද්‍රව්‍ය දහනය කළ මුල්ලේරියාවේ අපද්‍රව්‍ය භෂ්මීකරණ ස්ථානයට බලපා ඇති උසාවි නියෝගයක් ඊට හේතු වී ඇති බවත් පැවසේ.

ඉවතලන සැත්කම් අපද්‍රව්‍ය එන්නත් කටු, ගෝස්, පුළුන්, රුධිර බෑග්, යූරින් බෑග්, කැනයුලා, සේලයින් බෝතල් ආදිය මෙසේ සායනික අපද්‍රව්‍යවල ඇති අතර එයින් බොහොමයක් එසේ විවෘත පරිසරයේ තිබීම සෞඛ්‍යයට ඉතාමත් හානිකර බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

විශේෂයෙන් සිදුවිය හැකි ආපදා අතර සායනික අපද්‍රව්‍ය ජලමාර්ගවලට එක්වීමෙන් ජල දූෂණය සිදුවිය හැකි අතර එයින් පාචනය, ටයිපොයිඩ් උණ, පණු රෝග, හෙපටයිටිස් වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම සායනික අපද්‍රව්‍ය අතර ඇති සේලයින් බෝතල්, එන්නත් කටු සිරින්ජර ආදිය ජාවාරම්කරුවන් විසින් නැවත සකසා වෙළඳ පොළට එවීමේ අවදානමක් පවතින බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වනවිට සායනික අපද්‍රව්‍ය බැහැර කර දහනය කිරීම සඳහා මුතුරාජවෙල ව්‍යාපෘතියකට අනුමැතිය ලැබී ඇති නමුත් එය ක‍්‍රියාතක්මක තත්ත්වයට එනවිට 2019 මාර්තු මාසය පමණ වන බවත් ඉක්මණින් විසඳුමක් අවශ්‍ය වී ඇති බවත් එම අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුත්ත මෙතෙක් සිදුකළ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.