(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාතේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙන ගතයුතු ළමයින් 1000 කොහොම වෙතත් පහළොවක් විස්සක් පමණවත් තවම පාසලක් අහිමිව සිටින බව පිළිගැනීමට සිදුව ඇතැයි සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප‍්‍රභාත් භාණු මුණිප‍්‍රිය මහතා පවසයි.
පාසල් වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග ඇතුළත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක‍්‍ර ලේඛය හේතුවෙන් සබරගමු පළාතේ 1000 කට ආසන්න ළමයින් පිරිසකට තවමත් පාසලක් ලැබී නැති බැවින් එම චක‍්‍ර ලේඛය පළාතට අනුකූල ආකාරය සංශෝධනය කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සධානයේ සබරගමු පළාත් සභා මන්ත‍්‍රී රම්‍ය කුමාර වීරසිංහ මහතා ගෙනා යෝජනාවකට පිළිතුරු දෙමින් ඇමැති ප‍්‍රභාත් භාණු මුණිප‍්‍රිය මහතා පැවසීය.
ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකිවීම, ආසන්න පාසලකට ලකුණු පහක් කැපීම, ජල, විදුලි ආදී බිල් වලට ලකුණු එකතු කිරිම ආදිය නිසා වර්තමානයේ පාසල් ඉදිරිපිට ස්ථිරව ජීවත්වන බොහෝ දෙනෙකුට තම දරුවන් ආසන්න පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකිවී ඇති බව ඇමැතිවරයා කීවේ ය. ළඟම පාසල හොඳම පාසල යන සංකල්පය නිසි ලෙස ක‍්‍රියාවට නැංවුව හොත් මේ ගැටලූව ඇති නොවනු බව ද ඇමැතිවරයා කීවේ ය.

