පහේ පන්තියේ දරුවාගේ ප්‍රශ්නය ගැන විමර්ශනයක්


පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා සිසුවකුට තද බල කාංසාව වැළැඳී ඇතැයි කියන සිද්ධිය ගැන විමර්ශනය කිරීමට අද (7) පිළියන්දල කලාපයේ නිලධාරීන් කණ්ඩායමක් මොරටුවේ එම පාසලට ගිය බව කලාප අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ පිළිබඳ සොයා බලන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා වෙත අද (07) යොමු කර ඇති අතර සිද්ධිය ගැන විමර්ශනයට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් නිලධාරියකු පත් කර ඇත.

එම නිලධාරියා හෙට (08) එම පාසලයට යෑමට නියමිත බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පාසලේ දෙමාපියන් කිහිප දෙනකු අද (07) පාසලට පැමිණ ඇති බව ද, අධ්‍යාපන බලධරයන් පාසලට එතියි සැකයෙන් පාසලේ ගුරුවරයකු විසින් එම දෙමාපියන් පාසලට ගෙන්වා ඇත්දැයි යන්න සොයා බලන බව ද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් කීවේය.

පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා තද බල කාංසාව වැළැඳී ඇතැයි වෛද්‍යවරුන් සහතික කර ඇති මොරටුවේ පාසලක දරුවකු මාස තුනක් තිස්සේ පාසලක් අහිමිව නිවසට වී සිටින බව පසුගිය දා ලංකාදීප වාර්තා කළේය.

එම දරුවාට පන්ති කාමරයේ දී පමණක් මුත්‍රා පිටවන බව දරුවාගේ මව කියා තිබිණි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 19බී වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සිසුවාට නිතර මුත්‍රා පිටවීමට හේතුව තදබල කාංසා තත්ත්වයක් බවත්, පන්ති කාමරයේ දී පමණක් එම තත්ත්වය ඇති වීමට හේතුව එම පරිසරය තුළ ඔහුට ලැබෙන තදබල විවේචන සහ අපහාසාත්මක කවටකම් බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් එම විද්‍යාලයයේ විදුහල්පතිනියට සහ පන්තිභාර ගුරුවරියට ලිඛිතව දැනුම් දී ඇත.