පහේ පන්තියේ ගුරුවරිය දෙකේ පන්තියේ වැඩක් කරයි


පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා තද බල කාංසාව වැළැඳී ඇතැයි වෛද්‍යවරුන් සහතික කර ඇති මොරටුවේ පාසලක දරුවකු මාස තුනක් තිස්සේ පාසලක් අහිමිව නිවසට වී සිටින බව ඔහුගේ මව කියන්නීය.

එම සිසුවාට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සටීමේ අවස්ථාව ද අහිමිවේ යැයි මව සහ පියා කනස්සල්ලෙන් පසුවෙති.

මේ දරුවාට බැන වැදී අපහාස කරන ගුරුවරිය සිටින පාසලෙන් ඔහු වහා සුදුසු පාසලකට යවන්නැයි මනෝ වෛද්‍ය විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් රාජසූරිය මහතා නිර්දේශ කර ඇත.

දරුවා මොරටුවේ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, පන්ති භාර ගුරුවරිය දරුවාට නිතර බැන වැදී පහර දෙන නිසා ඔහුට පාසලේ දී නොදැනුවත්වම මුත්‍රා පිටවන බවත්, උපකාරක පන්තිවල දී හා දහම් පාසලේ දී එලෙස මුත්‍රා පහ නොවන බවත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි කළත් පාසල් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් එම මව විසින් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට යැවුණු ලිපියේ සඳහන්ය.

එම ලිපියේ පිටපත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් අධ්‍යක්ෂට යැවුවත් මෙතෙක් කිසිත් සිදුවී නැත.

දරුවා පාසල් නොඑවන ලෙස පාසලෙන් දැනුම් දුන් පසු සති තුනක් නිවසේ තබාගෙන සිටි බවත්, ඉන් අනතුරුව මාර්තු තෙවැනි සතියේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු කළ බවත් මව්පියෝ කියති.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 19බී වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සිසුවාට නිතර මුත්‍රා පිටවීමට හේතුව තදබල කාංසා තත්ත්වයක් බවත්, පන්ති කාමරයේ දී පමණක් එම තත්ත්වය ඇති වීමට හේතුව එම පරිසරය තුළ ඔහුට ලැබෙන තදබල විවේචන සහ අපහාසාත්මක කවටකම් බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් එම විද්‍යාලයයේ විදුහල්පතිනියට සහ පන්තිභාර ගුරුවරියට ලිඛිතව දැනුම් දී ඇත.

එම දරුවා විවේචන සහ අපහාසාත්මක කවටකම්වලින් ආරක්ෂා කර, ඔහුගේ ඉගෙනුම් පරිසරය සකසා දෙන ලෙසත්, එම තත්ත්වය තවදුරටත් සකස් කිරීමට වෛද්‍ය කණ්ඩායමක් පාසල වෙත පැමිණ උපදෙස් ලබා දීමට සූදානමින් සිටින බවත් එම ලිපියේ සඳහන්ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරිය විසින් පන්ති භාර ගුරුවරියට යැවුණු ලිපියේ දැක්වෙන්නේ මෙම දරුවාට කිසිදු බුද්ධි උණතාවක් නොමැති බවයි.

මේ දරුවා සම වයසේ දරුවන්ට වඩා ඉහළ බුද්ධි මට්ටමක් ඇති දරුවකු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මානසික සෞඛ්‍ය සංවර්ධන සහකාරවරයකු විසින් නිකුත් කැරුණු ලිපියක සඳහන්ය.

දරුවාට දිගින් දිගටම බලපෑම් එන නිසා එම පාසලට යෑම ඔහු ප්‍රතික්ෂේප කරන බවත්, ඒ වෙනුවෙන් වෙනත් පාසලක් ඉල්ලුවත් මේ වන තෙක් ප්‍රතිචාරයක් නොමැති බවත්, දැන් තුන්මාසයක් තිසේ දරුවා නිවසට වී සිටින බවත් මව කියන්නීය.