පහළ කඩුගන්නාව ගැන වාර්තාවක් දිසා ලේකම්ට


(ජේ.ඒ.එල් ජයසිංහ)

පහළ කඩුගන්නාවේ  ආපදා තත්ත්වය පරීක්ෂා කර එම ස්ථාන යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගතයුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ නිර්දේශ වාර්තාවක් සකස් කර කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට බාරදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පවසයි.

එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු කඩුගන්නාව මාර්ගය විවෘත කිරීමේ හැකියාව ඇති බවද භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසීය.

නායගිය පෙදෙසේ භෞතික මැනුම් කටයුතුකිරීමේ අපහසුතාවයක් පවතින බවත් , " ලයිඩා " තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් මැනුම් කටයුතු සිදු කළ බවත් ඒ අනුව එම ස්ථාන දීර්ඝ කාලීනව ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් ආරම්භ කරන බවත් ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පැවසීය.

ඉදිරි කාලයේදී දීර්ඝ ස්ථාවර කිරී⁣ම් කටයුතු සැලසුම් කර එම ස්ථාවර කිරීම් අදාළ බලධාරින් සමග සාකච්ඡා කර කිරීමට බලාපොරොත්තු වන බවද ,ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඉන්ද්‍රතිලක මහතා වැඩි දුරටත් කීය.